Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2021 20:45:40 Hours

යුද්ධ හමුදාවේ එන්නත්කරණ ක්‍රියාවලිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිතවරියගේ පැසසුමට

ශ්‍රී ලංකාවේ ජාතික එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳව සොයාබැලීමේ අරමුණින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං මහත්මිය (Dr (Ms) Alaka Singh) අද (15) දින උදෑසන විහාර මහ දේවී උද්‍යානයේ යුද්ධ හමුදාව අළුතෙන් ආරම්භ කරනු ලැබු එන්නත්කරණ මධ්‍යස්ථානය වෙත පැමිණි අතර, එහිදි මාධ්‍ය විසින් කරුණු විමසන විට පවසා සිටියේ අතිගරු ජනාධිපතිතුමන්ගේ අභිලාශයන්ට සමගාමීව විශ්වාස කළ නොහැකි තරමේ කාර්යභාරයක් ජාතික එන්නත්කරණ වැඩපිළිවෙල තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ඉටුකරණ බවයි.

“ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටුකරණ අතර එය සිත් ඇදගන්නා සුළු ලෙස හා ක්‍රමානුකූලව කෙරෙන බව පැහැදිලිව පෙනෙනවා. හදිසි අවශ්‍යතාවක් වුවහොත් ඒ සඳහා මුහුණ දීමට වෛද්‍යවරුන් ගිලන්රථ පවා සූදානම්ව තබා ඇති අතර නමුත් එවැනි අනපේක්‍ෂිත දේවල් මෙහි සිදුවුණේ නැහැ. මෙම ක්‍රියාවලිය ඉතා හොදින් සිදුවෙනවා දැකීම සතුටක්. අපි හිතනවා මෙය හොඳට ඉදිරියට පවත්වාගෙන යයි කියලා”. යනුවෙන් එම මහත්මිය පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය අලකා සිං මහත්මිය යුද්ධ හමුදාව පවත්වාගෙන යනු ලබන ප්‍රජා එන්නත්කරණ මධ්‍යස්ථානය තුල රැදෙමින් යුද්ධ හමුදා වෛද්‍ය නිලධාරීන් අනුගමනය කරනු ලබන වෛද්‍ය ක්‍රියාපටිපාටින් පිළිබඳ නිරීක්‍ෂණය කරමින් එන්නත්කරණ වැඩසටහනේ ඉදිරි සැලසුම් පිළිබඳවද තොරතුරු විමසුවාය.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ක්‍රිශාන්ත ඥාණරත්න, යුද්ධ හමුදා නිවාරණ හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කර්නල් වෛද්‍ය සවීන් සේමගේ සහ කොළඹ පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධාන කාර්යාලයේ නිලධාරියෙකු එක්ව සිටිහය.