Header

Sri Lanka Army

Defender of the Nation

13th July 2021 22:57:41 Hours

කිලිනොච්චි භටපිරිස් තවත් විවිධ අවශ්‍යතා සහිත පවුලකට නව නිවසක් ඉදිකරදෙයි

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස තනාදීමේ ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ඉදිකරනු ලැබු නව නිවසක් ඉකුත් සදුදා (12) දින නිවාසලාභියා වෙත භාරදෙන ලදී.

ඒ අනුව, ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ මඟපෙන්වීම මත කිලිනොච්චිය, ප්‍රජා මධ්‍යස්ථාන ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් මෙම නව නිවස ඉදි කෙරිණි.

විවිධ අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් රජය විසින් දියත් කරනු ලබන වැඩසටහන් තවදුරටත් ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් කිලිනොච්චිය, ප්‍රජා මධ්‍යස්ථාන ප්‍රදේශයේ රෝහල් මාවතේ ජීවත්වන රාසයියා රාජේශ්වරම් මහතා ඇතුළු පවුලේ සාමාජිකයින් වෙනුවෙන් මෙම නව නිවස ඉදිකරන ලදී.

නව නිවසේ ඉදිකිරීම් කටයුතු 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එල්. ඈපාගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්වල තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ඇතිව සිදුකරන ලදී. තවද භටපිරිස් විසින් නව නිවස සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ ඇතුළු අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය තොගයක් ද මෙහිදි පරිත්‍යාග කළහ.

හින්දු චාරිත්‍රානුකූලව පැවති නව නිවස විවෘත කිරිමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සමගින් කරච්චි සහ කන්දවලෙයි ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් සහභාගී වූහ.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවති මෙම අවස්ථාවට 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, 571 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ධම්මික වෙලගෙදර, 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පේරුම ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ.

මෙම අවස්ථාවට සහභාගී වූ කරච්චි ප්‍රාදේශීය ලේකම්, යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් ස්තූතිය පුදකරමින් කිලිනොච්චි ජනතාවගේ ජීවනෝපාය නංවාලීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් විසින් දියත්කර ඇති වැඩපිළිවල හා කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම වෙනුවෙන් සහ කිලිනොච්චි ප්‍රදේශයේ නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම සඳහා ගනු ලබන උත්සහයන් සහ සිදුකරනු ලබන කාර්යභාරය අගය කළේය.