Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2021 14:03:40 Hours

යුද්ධ හමුදා භටපිරිස් කාරෙයිනගර් ප්‍රදේශයේ තවත් අඩු ආදායම්ලාභි පවුලකට නව නිවසක් ඉදිකරදෙයි

යාපනය කාරෙයිනගර් ප්‍රදේශයේ ඉතා දුෂ්කරතා මධ්‍යයේ දිවිගෙවන තම්බිරාසා මනියාලගන් මහතා ඇතුළු එම පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ඉකුත් අඟහරුවාදා (13) දින ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමේ උත්සවය 513 වන බලසේනාවේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ ඉල්ලීමකට අනුව මෙම ව්‍යාපෘතිය සඳහා මූල්‍යමය දායකත්වය කොළඹ පදිංචි මොහාන් ශංකර් මහතා විසින් ලබාදෙනු ලබයි.

මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු 513 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ 11 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් තාක්‍ෂණික දැනුම හා ශ්‍රමදායකත්වය උපයෝගි කරගනිමින් සිදුකරනු ලබයි.

නව නිවස ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමෙන් පසුව, ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා නිවාසලාභියා වෙත වියළි සලාක සහ එම පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කළේය.

සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවැති මෙම උත්සවය සඳහා 51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල, 511, 512, 513 හා 515 වන බලසේනාවන්වල බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.