13th July 2021 23:30:29 Hours
මීට වසර 31 කට පෙර, කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ සහ හමුදා කඳවුර ආරක්‍ෂා කරගැනීම සඳහා උත්තරීතර කැපකිරීමක් සිදුකළ කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්වී ඇතුළු විරෝදාර රණවිරුවන් සහ සිවිල් කාර්යමණ්ඩලයේ මතකයන් ආවර්ජණය කර ගෞරව දැක්වීමේ චාම් උත්සවයක් ජුලි මස 11 දින කොකාවිල් රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
කොකාවිල් සම්ප්‍රේෂණ කුළුණ සහ හමුදා කඳවුර ආරක්‍ෂා කරගැනීම සඳහා උත්තරීතර කැපකිරීමක් සිදුකළ 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ කපිතන් සාලිය අලදෙණිය පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබීය. ත්‍රස්තවාදී ප්‍රහාර හමුවේ සතුරාට යටත් නොවි කඳවුර අතහැර පලා නොගොස් මියෙනතුරුම කපිතන් සාලිය අලදෙණිය ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්යමණ්ඩලය සටන් වැඳී රටවෙනුවෙන් තම ජිවිත පරිත්‍යාග කළහ. 1990 ජූනි මස 27දින සිට ජූලි මස 11දින දක්වා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් සමඟ පැවැති දරුණු සටනකින් පසුව එල්.ටී.ටී. ත්‍රස්තවාදීන් විසින් කොකාවිල් කඳවුර අත්පත් කරගත්තේය.
මෙම විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ මෙවර සැමරුම් උත්සවය, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහ 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් මදුරප්පෙරුම ලබාදුන් උපදෙස් මත 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් රංග මොහම්දිරම් ගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් සංවිධානය කරන ලදී.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවු ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ප්‍රථමයෙන් රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තබා රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කළේය.
රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කිරීම සඳහා 66 වන සේනාංකයේ සේනාකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක, 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන ඇතුළු බලසේනාධිපතිවරුන් සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.