Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2021 22:50:14 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සංවත්සරයට සමගාමීව සිසුන්ට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 37 වන සංවත්සරයට (ජූලි මස 12 දින) සමගාමීව එම ඒකකයේ සාමාජිකාවන් විසින් යුද්ධ හමුදා සාමාජිකින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල සිසුන් 10 දෙනෙකු වෙත නව ලැප්ටොප් පරිගණක 10 ක් ප්‍රදානය කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක සාමාජිකාවන් අද (12) දින උදෑසනආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවීමට ප්‍රථම යුද්ධ හමුදා සේවා වනිතා කාර්යාලයේදීඑක් සිසුවියක වෙත සංක්තාත්මකව ලැප්ටොප් පරිගණකයක් පරිත්‍යාග කළාය.සිසුන් වෙත පරිත්‍යාග කිරීමට නියමිතඉතිරි ලැප්ටොප් 9 සේවා වනිතා ඒකකය සමඟ සම්බන්ධතාවයෙන් රෙජිමේන්තු මට්ටමින් බෙදාහැරීමට නියමිතය. තෝරාගත් සිසුන්ගෙන් කොටසක් යුද්ධ හමුදාවේ සේවය කරන සිවිල්සේවක මහතුන්ගේ දරුවන්වීම තවත් විශේෂත්වයකි.

'මෙහෙවරක අසිරිය' සංවත්සරසඟරාවේ මංගල පිටපත යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන් වෙත ප්‍රදානය කිරීමෙන් අනතුරුවයුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත එම සඟරාවේ පිටපත් ආරක්‍ෂක අමාත්‍යාංශය, යුද්ධ හමුදා මූලස්ථානයේ සියලුම ශාඛා, අධ්‍යක්‍ෂ මණ්ඩල සහ ශ්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානය, ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය, ශ්‍රී ලංකා පොලිස් මූලස්ථානය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු මූලස්ථානය, සියලුම ආරක්‍ෂක සේනා මූලස්ථාන, සේනාංක, රෙජිමේන්තු මධ්‍යස්ථාන සහ යුද්ධ හමුදාවේ සියලුම ඒකක වෙත ලබාදීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලදී. 

සංවත්සරසැමරුම් දිනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මියගේ යෝජනාවකට අනුව සඳුදා (12) දිනශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ සේවය කරන නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී.

සංවත්සර දිනයේ තවත් සුවිශේෂි අංගයක් ලෙස, සියලුම රෙජිමේන්තු සේවා වනිතා ඒකකවල සභාපතිනියන් ඇතුළු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් නියෝජනය කරමින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් පිරිසක් විසින් මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 5 සහ 6 වට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 150ක් සඳහා එදින (12) විශේෂ දිවා ආහාර වේලක් ලබාදෙන ලදී.

යුද්ධ හමුදා නිලධාරීන්ගේ භාර්යාවන් විසින් මෙහෙයවනු ලබන වසර 37 ක ගෞරවනීය ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යුද්ධ හමුදාවේ සේවය කරන විරෝදාර රණවිරුවන් සහ දිවිපිදු, රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ ඥාතීන් සහ සිවිල් කාර්යමණ්ඩලය වෙනුවෙන් සුභසාධන කටයුතු සිදුකිරීම සඳහා පිහිටුවා ඇත.

1982 අංක 10 දරණ රජයේ ගැසට් පත්‍රයේ දක්වා ඇති විධිවිධානවලට අනුකූලව වර්ෂ 1984 ජුලි මස 12 වන දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය, වර්ෂ 1998 දී පිහිටුවන ලද රෙජිමේන්තු සේවා වනිතා ඒකක සමග එක්ව කටයුතු කිරීම ආරම්භ කරන ලදී.

රට වෙනුවෙන් දිවිපිදු හා රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල දරුවන්ට සහ භාර්යාවන්ට ‘දෙවන මවක්’ ලෙස ඔවුන්ගේ කාර්යභාරය ඉටුකරගැනීමට ශක්තියක් වෙමින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට නිවාස, දරුවන්ට ශිෂ්‍යත්ව, කිහිලිකරු, කෘතිම අත්පා හා රෝදපුටු, රණවිරු දරුවන්ට පෙරපාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පැවැත්වීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට උපකාර කිරීම, නිවාස ඉදිකිරීම සඳහා මුල්‍යාධාර ලබාදීම, වෛද්‍ය ප්‍රතිකාර, ස්වාභාවික විපත්වලදි සහයෝගය දැක්වීම, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට රැකවරණය ලබාදීම ඇතුළු සුභසාධන ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් දියත් කරනු ලබයි.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ව්‍යවස්ථාවට අනුව සාමාජිකත්වය යුද්ධ හමුදා නිලධාරීන්ගේ භාර්යාවන්ට සහ කාන්තා නිලධාරීන්ට හිමිවනු ඇත.යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටුව සභාපති, උප සභාපති, ලේකම්, භාණ්ඩාගාරික සහ මහජන සම්බන්ධතා නිලධාරිනි යන තනතුරු වලින් සමන්විත වන අතර සාමාජිකාවන්ගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටුව ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා විධායක කමිටුවට සහාය වෙයි.