Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2021 04:44:06 Hours

ඔලිම්පික් තරඟාවලියට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සභාපතිතුමන්ගේ සුභපැතුම්

එළඹෙන ජූලි මස 23 දින සිට අගෝස්තු මස 8 දින දක්වා ජපානයේ, ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත 32 වන ඔලිම්පික් තරඟාවලිය - 2020 සඳහා විනිසුරුවරයෙකු ලෙස සහභාගිවන පළමු යුද්ධ හමුදා නිලධාරී සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (09) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.

මෙම සුහද හමුවට එක්වූ ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා, වෙඩි තැබීමේ කණ්ඩායමේ සභාපති ප්‍රදීප් එදිරිසිංහ මහතා, ඔලිම්පික් තරඟාවලිය නියෝජනය කරනු ලබන ටෙහානි එගොඩවෙල (එයාර් රයිෆල් ඉසව්ව) සහ නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන් ඉසව්ව) යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමඟ අදහස් හුවමාරු කරගත්හ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ලුතිනන් කර්නල් ඩි.එම්.ටි.සී. දිසානායක 32 වන ඔලිම්පික් තරඟාවලිය - 2020 වෙඩි තැබීමේ ඉසව්වේ විනිසුරුවරයෙකු ලෙස සහභාගීවන අතර, එලෙස විනිසුරුවරයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගි වන පළමු නිලධාරීයා ද ඔහු වේ. ඔලිම්පික් තරඟාවලියක වෙඩි තැබීමේ ඉසව්වේ විනිසුරුවරයෙකු ලෙස ලුතිනන් කර්නල් ඩි.එම්.ටි.සී. දිසානායක තෝරා ගැනීම යුද්ධ හමුදාවට මෙන්ම ශ්‍රී ලංකාවටද ඉමහත් ගෞරවයකි. සිය වෘත්තිය දිවිය තුලදී දේශීය හා විදේශීය වෙඩි තැබීමේ තරඟාවලි රැසක විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති ලුතිනන් කර්නල් ඩි.එම්.ටි.සී. දිසානායක ඒ හා සම්බන්ධ බොහෝ පුහුණු පාඨමාලා හදාරා ඇති අතර වර්ෂ 2003 සිට ජාතික වෙඩි තැබිමේ සම්මේලනයේ විවිධ තනතුරු හොබවා ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිගන්වමින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවට එක්වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත සමරු තිළිණ හා මුල්‍යමය ත්‍යාග ප්‍රදානය කළ අතර මෙවර ඔලිම්පික් තරඟාවලිය සඳහා සහභාගිවන ක්‍රිඩක ක්‍රීඩිකාවන්ට සිය සුභපැතුම් ද එක් කළේය.

එසේම, මේ දිනවල ඉතාලියේ පුහුණු කටයුතුවල නිරතව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ලාන්ස් කෝප්‍රල් යුපුන් අබේකෝන් මෙවර ඔලිම්පික් තරඟාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගිවීමට නියමිතව ඇත.

ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පත් කරන ලද ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ඔලිම්පික් ඉතිහාසය සිහිපත් කරමින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රිඩක ක්‍රීඩිකාවන් පදක්කම් දිනාගත් ආකාරය පිළිබඳ විස්තර කරමින් මෙවර තරඟාවලියට සහභාගිවන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය සුභාශිංසන පිරිනැමුවේය.

එම අවස්ථාවේදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙරට ක්‍රීඩා ක්‍ෂේත්‍රය වඩාත් ගුණාත්මක ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා දක්වන කැපවීම හා උනන්දුව වෙනුවෙන් එම නිලධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩකාවන් එතුමන්ට ප්‍රශංසා කළේය.

මෙවර තරඟාවලියට මැටිල්ඩා කාල්සන් (අශ්වාරෝහක ඉසව්ව), මිල්කා ගිහානි ද සිල්වා (ජිම්නාස්ටික් ඉසව්ව), ටෙහානි එගොඩවෙල (වෙඩි තැබීම කාන්තා ඉසව්ව), මැතිව් අබේසිංහ (පිහිනුම් ඉසව්ව), නිලූක කරුණාරත්න (බැඩ්මින්ටන් ඉසව්ව), චාමර ධර්මවර්ධන (ජූඩෝ ඉසව්ව), නිමාලි ලියනාරාච්චි (මීටර් 800 ඉසව්ව) සහ යුපුන් අබේකෝන් (මීටර් 100 ඉසව්ව) ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 9 දෙනෙකු ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වීමට නියමිතය.