Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2021 15:17:16 Hours

බස්නාහිර පළාතේ ගුරුභවතුන්ට යුද්ධ හමුදා රෝහලේදී එන්නත්කරණ සිදුකරයි

අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත යුද්ධ හමුදා විසින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන ජාතික එන්නත්කරණ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණය කල බස්නාහිර පළාතේ ගුරුභවතුන්ට එන්නත් කිරිමේ වැඩසටහනක් අද (12) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ආරම්භ කරනු ලැබිණ.

ඒ අනුව, අද (12) දින ආරම්භ කරන ලද මෙම වැඩසටහනේදී ගුරුභවතුන් විශාල ප්‍රමාණයකට එන්නත්කරණය සිදුකරන ලදී.

යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම සිදුකරන එන්නත්කරණ වැඩසටහන නිරීක්‍ෂණය කිරීම සඳහා ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු අමාත්‍යවරුන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා එම අවස්ථාවට එක්වූහ.

මීට දින කිහිපයකට පෙර, කොවිඩ්-19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයට ලබාදුන් උපදෙස් මත අධ්‍යාපන වෘත්තිකයින්, ගුරුභවතුන් අධ්‍යාපන පරිපාලකයින් සහ මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ කාර්යමණ්ඩලයට එන්නත් ලබාදීම සිදුකරන ලදී.

කොළඹ යුද්ධ හමුදා රෝහලේ පැවැති එන්නත්කරණ වැඩසටහනට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා, නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කේ. කපිල පෙරේරා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් ද සහභාගි වූහ.

මෙම එන්නත්කරණ වැඩසටහනේදී බස්නාහිර පළාතේ කොළඹ අධ්‍යාපන කලාපයේ ගුරුභවතුන්ට සහ අනෙකුත් කාර්ය මණ්ඩලයට සයිනොෆාර්ම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදෙන ලදී.