Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2021 07:01:31 Hours

ඔලිම්පික් තරඟාවලියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන පළමු හමුදා නිලධාරියාට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු වන ලුතිනන් කර්නල් ඩි.එම්.ටි.සී. දිසානායක ඔලිම්පික් තරඟාවලියක වෙඩි තැබීමේ ඉසව්වේ විනිසුරුවරයෙකු ලෙස තෝරාගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පළමු නිලධාරීයා ලෙස ඉතිහාසයට එක්වෙයි. මෙය යුද්ධ හමුදාවට මෙන්ම පොදුවේ මුළු රටටම ඉමහත් ගෞරවයකි.

1995 වර්ෂයේ සිට මේ දක්වා රයිෆල් සහ පිස්තෝල වෙඩික්කරුවෙකු ලෙස කටයුතු කල ලුතිනන් කර්නල් ඩි.එම්.ටි.සී. දිසානායක2004 වර්ෂයේ සිට රෙජිමේන්තු වෙඩි තැබීමේ කණ්ඩායමේ පුහුණුකරු ලෙසද, එසේම 2003 වර්ෂයේ සිට ජාතික හා ජාත්‍යන්තර වෙඩිතැබීමේ තරඟාවලිවල තීරකයෙකු, ජූරි සභාපතිවරයෙකු මෙන්ම අභියාචනා ජූරි සභිකයෙකු ලෙසද කටයුතු කර ඇත. එමෙන්ම, යුද්ධ හමුදා සුළු අවි සංගමයේ ලේකම් ලෙස ද ලුතිනන් කර්නල් ඩි.එම්.ටි.සී. දිසානායකකටයුතු කර ඇත.

ලුතිනන් කර්නල් ඩි.එම්.ටි.සී. දිසානායක ජාතික හා ජාත්‍යන්තර තලයේ වෙඩි තැබීමේ තරගාවලි රැසකට තරඟ තීරකයෙකු ලෙස වෙඩිපිටි භාර නිලධාරීයෙකු ලෙස හා තරඟ විනිසුරුවරයෙකු ලෙස සහභාගි වී ඇත. එ් අතර, 2006 වර්ෂයේකොළඹ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා තරඟාවලියේදී වෙඩිපිටි භාර නිලධාරී ලෙස, 2013 සහ 2014වසරවල පිළිවෙලින් මෙක්සිකෝවේ පැවති ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලන ලෝක ශුරතාවලියේසහ කුවෙට් පැවැති ආසියානු වායු රයිෆල් තරඟාවලියේ ජූරි සභිකයෙකු ලෙස, 2015, 2016 සහ 2017 යන වර්ෂවලදී පැවැති ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලන ලෝක ෂොට්ගන්ශුරතාවලියේ ෂොට්ගන් තීරකවරයෙකු වශයෙන්, 2014 සහ 2018 වසරවල පිළිවෙලින් කොරියාවේ සහ ඉන්දුනිසියාවේ පැවැති ආසියානු වායු තරඟාවලියේ විනිසුරුවරයෙකු වශයෙන්, 2015 වසරේ එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ පැවැති සිව්වන ෂොට්ගන් ශුරතාවලියේ ජූරි සභාපති වශයෙන් ද කටයුතු කිරීම ප්‍රධාන තැනක් ගනී.

එමෙන්ම, ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලන ලෝක ශූරතාවලියේ සහ ජාත්‍යන්තර වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනකනිෂ්ඨ ලෝක ශූරතාවලියේ විනිසුරුවරයෙකු ලෙස ද ඔහු කටයුතු කර ඇත.

තවද ලුතිනන් කර්නල් ඩි.එම්.ටි.සී. දිසානායක විසින් වෙඩිතැබීමේ පුහුණු පාඨමාලා රැසක් හදාරා ඇති අතර 2003 වර්ෂයේ සිට ජාතික වෙඩි තැබීමේ ක්‍රීඩා සම්මේලනයේ තනතුරු රැසක් ද හොබවා ඇත.

වෙඩි තැබීම පිළිබඳව විශිෂ්ඨ පාඨමාලා රැසක් සාර්ථකව නිම කර ඇති ලුතිනන් කර්නල් ඩි.එම්.ටි.සී. දිසානායක මූලික ප්‍රගුණ හා සැඟවුණු වෙඩිකරු පුහුණු පාඨමාලාවද ඇතුළු පුහුණුකරුවන් සඳහා වූ තවත් පාඨමාලා රැසක් හදාරා ඇත.