Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2021 02:20:59 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට 37 වසරක් සපිරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරන විරෝදාර රණවිරුවන් සහ දිවිපිදු, රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ ඥාතීන් වෙනුවෙන් සුභසාධන කටයුතු සිදුකිරීම සඳහා පිහිටුවා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ භාර්යාවන් විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට ජුලි මස 12 වන දිනට වසර 37 සපිරේ.

1982 අංක 10 දරණ රජයේ ගැසට් පත්‍රයේ දක්වා ඇති විධිවිධානවලට අනුකූලව වර්ෂ 1984 ජුලි මස 12 වන දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය, වර්ෂ 1998 දී පිහිටුවන ලද රෙජිමේන්තු සේවා වනිතා ඒකක සමග එක්ව කටයුතු කිරීම ආරම්භ කරන ලදී.

රට වෙනුවෙන් දිවිපිදු හා රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ පවුල්වල දරුවන්ට සහ භාර්යාවන්ට ‘දෙවන මවක්’ ලෙස ඔවුන්ගේ කාර්යභාරය ඉටුකරගැනීමට ශක්තියක් වෙමින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට නිවාස, දරුවන්ට ශිෂ්‍යත්ව, කිහිලිකරු, කෘතිම අත්පා හා රෝදපුටු, රණවිරු දරුවන්ට පෙරපාසල් හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පැවැත්වීම, විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට උපකාර කිරීම, නිවාස ඉදිකිරීම සඳහා මුල්‍යාධාර ලබාදීම, වෛද්‍ය ප්‍රතිකාර, ස්වාභාවික විපත්වලදි සහයෝගය දැක්වීම, රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට රැකවරණය ලබාදීම ඇතුළු සුභසාධන ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් දියත් කරනු ලබයි.

යුද්ධ හමුදාවේ විරෝදාර රණවිරුන්ගේ යහපැවැත්ම උදෙසා කැපවී කටයුතු කරන යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 37 වන සංවත්සර සැමරුම ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ උපදෙස් මත සඳුදා (12) දින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුව පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කර ඇති අතර එය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 15 වන සභාපති ගරු සුජිවා නෙල්සන් මහත්මියගේ මුලිකත්වයෙන් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේදී සඳුදා (12) දින පැවැත්වෙන 37 වන සංවත්සරය වෙනුවෙන් දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සිදුකරනු ලැබු සේවාවන් ඇතුලත් ‘මෙහෙවරක අසිරිය’ සඟරාව එළිදැක්වේ. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය ඇතුළු ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් විසින් එම සඟරාවේ මංගල පිටපත සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ප්‍රදානය කිරීමට නියමිතය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ අඛණ්ඩ සුභසාධන කාර්යභාරය සංකේතවත් කරමින් රෙජිමේන්තු සේවා වනිතා ඒකකවල පවුල්වලට අයත් සිසුන් 10 දෙනෙකු වෙත ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් ලැප්ටොප් පරිගණක 10 ක් ප්‍රදානය කෙරේ. සෞඛ්‍යාරක්‍ෂිත හේතුන් මත උත්සවය අතරතුර එක් සිසුවෙකුට පමණක් ලැප්ටොප් පරිගණයක් සංකේතාත්මකව ප්‍රදානය කරනු ලබයි.

සංවත්සර දිනයේ තවත් අංගයක් ලෙස, සියලුම රෙජිමේන්තු සේවා වනිතා ඒකකවල සභාපතිනියන් ඇතුළු යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ 5 සහ 6 වට්ටුවල නේවාසිකව ප්‍රතිකාර ලබන රෝගීන් 150 දෙනෙකුට එදිනම (12) විශේෂ දිවා ආහාරයක් ලබාදෙනු ඇත.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ පුර්ණ සහයෝගය ඇතිව කොවිඩ් - 19 රෝගින් සඳහා සීදුවේ ඉදිකරන ලද ඇඳන් 1200 කින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය මහජනතාවගේ පැසසුමට ලක්විය. එය දින 10 කට අඩු කාලයක් තුළ කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගින්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිකරන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ පළමු සභාපති ධුරය (1984-1985) සෝනියා වීරතුංග මහත්මිය විසින් හෙබවු අතර 37 වසරක ඉතිහාසය තුල ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගෞරවනීයත්වය ආරක්‍ෂා කරගනිමින් එහි අරමුණු සාක්ෂාත් කරගැනිමට හිටපු සභාපතිනියන් දායක වී ඇත.

එසේම, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ක්‍රියාත්මක කරනු ලබන සුභසාධන ව්‍යාපෘතීන් වෙනුවෙන් අවශ්‍ය මුදල් සපයා ගැනීම සඳහා සංගීත සංදර්ශන, නාට්‍ය, ස්ටිකර් ප්‍රචාරණ ව්‍යාපාර ආදි අරමුදල් රැස්කරන ව්‍යාපෘති රැසක් සංවිධානය කරනු ලබයි. එමෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වලට සහන මිලට භාණ්ඩ හා ඇඳුම් මිලදී ගැනීමට අවස්ථාව ලබාදෙනු ඇත. දිවිපිදු හා රණක්‍ෂිතයට පත් රණවිරුවන් විසින් කරන ලද පරිත්‍යාගයන් අගය කරමින් වසර ගණනාවක් පුරා සිය ගණනක් දානපතියන් විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට මුදල් හා දායකත්වය ලබා දී ඇත.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය යුද්ධ හමුදා මූලස්ථානයේ, මැනිං ටවුන් සහ කැන්දලන්ද යන ස්ථානවල සුභසාධන වෙළඳ සංකීර්ණ පවත්වාගෙන යනු ලබන අතර, එදිනෙදා ගෘහ අවශ්‍යතා සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහන මිල ගණන් යටතේ යුද්ධ හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වලට ලබාදෙනු ලබයි. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ආරම්භ කරන ලද බේකරි ව්‍යාපෘතියක් මගින් සේවය කරන යුද්ධ හමුදා සාමාජිකයින්ට ඔවුන්ගේ පරිභෝජනය සඳහා සාධාරණ මිලගණන් යටතේ කෙටි ආහාර වර්ග ලබාදෙයි.

මෙම සේවාවන්ට අමතරව, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ස්වයං රැකියා පාඨමාලා, රණවිරුවන්ගේ භාර්යාවන්ට මහන මැෂින් පරිත්‍යාග කිරීම සහ රණවිරුවන්ගේ දරුවන් සඳහා පරිගණක පාඨමාලා පැවැත්වීම ඇතුළු සුභසාධන කටයුතු සිදුකරනු ලබයි. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ නිවෙස්වලට සනීපාරක්‍ෂක පහසුකම් සපයා ඇති අතර ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා විශේෂ පහසුකම් සපයා ඇත.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ව්‍යවස්ථාවට අනුව සාමාජිකත්වය යුද්ධ හමුදා නිලධාරීන්ගේ භාර්යාවන්ට සහ කාන්තා නිලධාරීන්ට හිමිවනු ඇත. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ විධායක කමිටුව සභාපති, උප සභාපති, ලේකම්, භාණ්ඩාගාරික සහ මහජන සම්බන්ධතා නිලධාරිනි යන තනතුරු වලින් සමන්විත වන අතර සාමාජිකාවන්ගෙන් සමන්විත ක්‍රියාකාරී කමිටුව ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා විධායක කමිටුවට සහාය වෙයි.

සෝනියා වීරතුංග මැතිණිය, මාලා සෙනෙවිරත්න මැතිණිය, අයිරා වනසිංහ මැතිණිය, තිලකා විද්‍යාරත්න මැතිණිය, ලලිතා ද සිල්වා මැතිණිය, ජයන්ති දළුවිට මැතිණිය, දිල්හානි විරසුරිය මැතිණිය, ඥාණා බලගල්ල මැතිණිය, සෝනියා කෝට්ටගේ මැතිණිය, අනෝමා ෆෝන්සේකා මැතිණිය, මංජලිකා ජයසුරිය මැතිණිය, දමයන්ති රත්නායක මැතිණිය, නයනා ද සිල්වා මැතිණිය සහ චන්ද්‍රිකා සේනානායක මැතිණිය වර්ෂ 1984 සිට සභාපති ධූරය හෙබවු ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ නව සභාපති ලෙස සුජීවා නෙල්සන් මැතිණිය 2019 වසරේ අගෝස්තු මස 19 වන දින පත්විය.