Header

Sri Lanka Army

Defender of the Nation

10th July 2021 06:32:29 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්, හිටපු ‘ඔලිම්පික්’ ක්‍රීඩක කෝප්‍රල් රණතුංග කරුණානන්දගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසයි

වර්ෂ 1964 දී ටෝකියෝ නුවර පැවති ගිම්හාන ඔලිම්පික් තරඟාවලියේදී මීටර් 5000 සහ මීටර 10,000 ඉසව් නියෝජනය කරමින් ලෝකයේම අවධානයක් දිනාගත් දිගුදුර ධාවන ශූර කෝප්‍රල් රණතුංග කරුණානන්දගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් වීමසීමට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කටයුතු කළේය.

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් නලින් බණ්ඩාරනායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු පසුගියදා නාත්තන්ඩිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඔලිම්පික් ධාවන ශූරයාගේ නිවෙස වෙත ගොස් ඔවුන් සමඟ සුහද පිලිසඳරක නිරතවෙමින් දිවංගත කෝප්‍රල් රණතුංග කරුණානන්ද ඔලිම්පික් තරඟාවලියට සහභාගී වී රටට සහ යුද්ධ හමුදාවට අත්කරදුන් කීර්තිනාමය කිසිදා අමතක නොවන බව පැවසීය.

මෙම කණ්ඩායම කෝප්‍රල් රණතුංග කරුණානන්දගේ නිවසේ රැදි සිටියදී යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කෝප්‍රල් කරුණානන්දගේ පුතා සහ දියණියව දුරකථනය ඔස්සේ සම්බන්ද කරගනිමින් ඔවුන්ගේ සුවදුක් වීමසුවේය. එමෙන්ම කෝප්‍රල් කරුණානන්දගේ බිරිදගේ සෞඛ්‍යය තත්ත්වය පිළිබඳව විමසා සිටි යුද්ධ හමුදාධිපතිතුමා ඔවුන්ගේ අනාගත අපේක්ෂාවන් උදෙසා සහයෝගය දැක්වීමට හැකි ආකාරය පිළිබඳව ද ඔවුන් සමඟ සාකච්ඡා කළේය. එම අවස්ථාවේදී යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින්, කෝප්‍රල් කරුණානන්දගේ නිවසට ගොස් සිටි යුද්ධ හමුදා නිලධාරීන් ඔවුන්ට ත්‍යාග ද ප්‍රදානය කළහ.

පනාගොඩ යුද්ධ හමුදා ක්‍රීඩා සංවර්ධන ගම්මානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රියන්ත නවරත්න ඇතුළු තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් කෝප්‍රල් කරුණාරත්නගේ නිවස වෙත ගියහ.

කෝප්‍රල් රණතුංග කරුණානන්ද සහභාගි වූ ඔලිම්පික් ධාවන ඉසව්ව පිළිබඳ ලෝක ප්‍රකට කතා වස්තුව ජපානයේ දරුවන්ව දිරිගැන්වීම පිණිස වීර කතාවක් වශයෙන් ජපානයේ පාසල් පෙළ පොත් වලටද ඇතුලත් කර ඇත. ‘පරාජිතයින් අතර වීරයා’ යන අනුවර්තිත නාමයෙන් හඳුන්වන මෙම කතා පුවත විරුදාවලි නොලත් විරුවෙකුගේ පුරාවෘත්තයක් ලෙසද හැදින්වේ.

සිය ධාවන ඉසව්ව අවසන් කරමින් "ජයග්‍රහණයට වඩා වැදගත් සහභාගිත්වයයි. එම නිසා මම මෙහි පැමිණියෙමි. ඔලිම්පික් තරගාවලියේ මීටර් 10,000 ධාවන ඉසව්ව සඳහා මම තරග කර ධාවන වට සියල්ලම සම්පූර්ණ කළෙමි.” යි කරුණානන්ද කල ප්‍රකාශය එම අවස්ථාවේ ක්‍රීඩාංගණයේ රැදි සිටි 60,000 ක් පමණ වූ ප්‍රේක්‍ෂකයින් අමන්දානන්දයට පත් කළේය.

1964 වර්ෂයේ ඔක්තෝබර් මස 14 වන දින රටවල් 17 ක් නියෝජනය කරමින් මලළ ක්‍රීඩකයන් 29 ක් සහභාගිවූ මීටර් 10,000 ධාවන ඉසව්ව කරුණානන්ද අවසන් කලේ ප්‍රේක්ෂකයන්ගේ අත්පොලසන් හඬ සහ ඔල්වරසන් හඬ මධ්‍යයේය. එමෙන්ම, අනෙක් සියලුම ක්‍රීඩකයින් ධාවන ඉසව්ව අවසන් කර සිටියදීත් තම සම්පුර්ණ දුර ප්‍රමාණය අවසන් වනතුරු තරඟය අත් නොහැර තරඟකල කරුණානන්ද ජපන් ජනතාව අතර වීරයෙක් වෙමින් ඉතිහාසයට එක්විය. මීටර් 10,000 ධාවන ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ක්‍රීඩකයා ලද ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයන්ටද වඩා ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාරයක් දිනාගත් කරුණානන්ද ධෛර්යය හා අධිෂ්ඨානය තුළින් ජයග්‍රහණය ලබාගත හැකි බව ලොවට විදහා පෑවේය.

1964 වර්ෂයේ ජපානයේ ටෝකියෝ නුවර පැවැති ඔලිම්පික් තරගාවලියේ දී කෝප්‍රල් කරුණානන්ද සහභාගි වූ මීටර් 10,000 ධාවන ඉසව්වේ අවසන් ස්ථානය සනිටුහන් කරමින් "හොඳම පරාජිතයා" ලෙස පිදුම් ලැබු කෝප්‍රල් රණතුංග කරුණානන්ද ජපන් ජනතාව අතර වීරයෙක් ලෙස ජනප්‍රිය විය.

1964 වර්ෂයේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන් අතර එකම මලළ ක්‍රීඩකයා කරුණානන්ද වූ අතර වෙඩි තැබීමේ තරග ඉසව් සඳහා රවී ජයවර්ධන සහ එම්.ආර්.පෙරේරා සහභාගි වුහ. මැල්කම් බල්නර් සහ වින්සන් වෑන් ක්ලේයින්බග් බොක්සිං ඉසව්වටද අර්නස්ට් ප්‍රනාන්දු මල්ලව පොර ඉසව්වට ද සහභාගි වුහ.

කරුණානන්ද සහභාගි වු මීටර් 10,000 ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ බිලී මිල්ස් තරඟය අවසන් කරන විටත් කරුණානන්ද ධාවන වට හතරක් වත් සම්පූර්ණ කර නොතිබිණි. එසේ තිබියදීත් තම සම්පුර්ණ දුර අවසන් වනතෙක් තරඟයේ රැදිසිටි කරුණානන්දට ප්‍රේක්ෂකයින් උසුළු විසුළු කලද ඔහුගේ අධිෂ්ඨානය හමුවේ ප්‍රේක්ෂකයෝ සියලුදෙනා නිහඩ වුහ. අවසානයේදී කරුණානන්ද සියලුම ප්‍රේක්ෂකයින්ගේ ගෞරවයට පාත්‍ර වෙමින් සිය ඉසව්ව අවසන් කළේය.

වර්ෂ 1975 දී ජපානයේ ආරාධනයකට අනුව සිය පවුලේ සාමාජිකයින් සමඟ ජපානයට යාමට නියමිතව සිටි කෝප්‍රල් කරුණානන්ද ඊට දින කිහිපයකට පෙර නාමල් ඔයේ දියේ ගිලී ජිවිතක්‍ෂයට පත් වූයේය.