Header

Sri Lanka Army

Defender of the Nation

09th July 2021 22:17:50 Hours

කිලිනොච්චි භටපිරිස් ක්‍රිෂ්ණපුරම් ගම්මානයේ විවිධ අවශ්‍යතා සහිත පවුලකට නව නිවසක් ඉදිකරදෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි දියත් කර තිබෙන ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් ලබාදුන් දායකත්වය මත හිසට සෙවනක් තනාගැනීමට නොහැකිව සිටි පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදුන්හ.

හිසට සෙවනක් නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නිවාස තනාදීමේ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ප්‍රජා ව්‍යාපෘතින්ට සමගාමීව ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහගේ උපදෙස් මත යුද්ධ හමුදා භටපිරිස් විසින් ක්‍රිෂ්ණපුරම්, අංක 3630 දරණ ලිපිනයේ පදිංචි ආරියදාස් රමේෂ් මහතා සහ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් ඉදිකළ නව නිවස ඉකුත් සදුදා (05) දින ඔවුන් වෙත භාරදෙන ලදී.

විවිධ අවශ්‍යතා සහිත පවුල් වෙනුවෙන් රජය විසින් දියත්කරනු ලබන වැඩසටහන් තවදුරටත් ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් යුතුව 573 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් මනෝජ් මදුරපෙරුම ඇතුළුඑම බලසේනාවේ නිලධාරීන්ගේ මූල්‍යමය දායකත්වය ඇතිව මෙම නව නිවස ඉදිකරන ලදී. නිවසේ ඉදිකිරීම් කටයුතු 9 වන විජබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ෂමින්ද විජේසිංහගේ අධීක්‍ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස්වල තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය ඇතිව සිදුකරන ලදී.

මීට අමතරව, 573 වන බලසේනාවේ සහ 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් නව නිවස සඳහා අවශ්‍ය ගෘහ භාණ්ඩ, උපකරණ, වියළි සලාක, නැවුම් එළවළු සහ ලිපි ද්‍රව්‍ය ද පරිත්‍යාග කරන ලදී.

නව නිවස විවෘත කිරිමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වු ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ නිවස ඉදිකිරීම සඳහා දායකත්වය දැක්වූ භටපිරිස් පැසසුමට ලක්කළේය.

තවද, එම අවස්ථාව සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන, ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චිය ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ක්‍රිෂ්ණපුරම් ග්‍රාම සේවා වසමේ ග්‍රාම නිලධාරි සිවරාසා ජදුකුලම් මහතා සහක්‍රිෂ්ණපුරම් සංවර්ධන නිලධාරී ශෂීදරන් සුදර්ශනි මහත්මිය සහභාගී වූහ. මෙම වැඩසටහන සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පවත්වන ලදී.