Header

Sri Lanka Army

Defender of the Nation

08th July 2021 21:00:43 Hours

නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි රණවිරු ඇපරල් කර්මාන්තශාලාවේ කාර්යමණ්ඩලයේ කැපවීම අගය කරයි

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ කළමණාකරන මණ්ඩලයේ සභාපති මේජර් ජෙනරල් වසන්ත මාදොල ඉකුත් බ්‍රහස්පතින්දා (08) දින අලව්ව සහ යක්කල පිහිටි රණවිරු ඇපරල් කර්මාන්තශාලාවල සංචාරය කරමින් එම කර්මාන්තශාලාවල ප්‍රගතිය පිළිබඳ සොයාබැලුවේය.

අලව්ව රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාව වෙත සපැමිණි යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් අසාද් ඉසඩීන් සහ කර්මාන්තශාලාවේ වැඩබලන කළමනාකරු මේජර් බුද්ධික බණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් පිළිගත්තේය. පසුව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද කර්මාන්තශාලා පරිශ්‍රය වෙත සපැමිණි නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි වෙත පිරිනැමීය.

අලව්ව රණවිරු ඇපරල් කර්මාන්තශාලා පරිශ්‍රයේ සංචාරයක නිරත වු නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි එම පරිශ්‍රයේ නිලධාරී නිවස්නයක් සඳහා මුල්ගල තබන ලදී. ඉදිකිරීම කටයුතුවල නිරතව සිටින ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් නව නිලධාරී නිවස්නයේ ඉදිකිරීම කටයුතු පිළිබඳ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි දැනුවත් කළේය. පසුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සංචාරයක නිරත වු යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේ නවතමයෙන් ඉදිකිරීමට යෝජිත නව ගොඩනැගිලි සංකීර්ණය සඳහා මුල්ගල තැබීය.

ඉන් අනතුරුව, යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාව වෙත සපැමිණි යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේනාවිධායක බ්‍රිගේඩියර් අසාද් ඉසඩීන්, නියෝජ්‍ය සේනාවිධායක බ්‍රිගේඩියර් අමිල වාසගේ සහ කර්මාන්තශාලාවේ කළමනාකරු කර්නල් ටයිටස් ජයකොඩි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් පිළිගැනීමෙන් පසුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද 8 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පිරිනැමීය.

පසුව, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල ගේ සුරතින් අඩි 100 දිග සහ පළල අඩි 20 ක් සමන්විත නව ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා සුභමොහොතින් මුල්ගල තැබීය.

යුද්ධයේදී රණක්‍ෂිතයට පත් නමුත් තවමත් සේවය කිරීමට හැකියාව ඇති විරෝදාර රණවිරුවන් සේවය කරන පුනරුත්ථාපන ව්‍යාපෘතියක් ලෙස දශක දෙකකට පමණ පෙරාතුව යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාව ආරම්භ කරන ලදී.

මෙම ගොඩනැගිලි ඉදිකිරිමේ ව්‍යාපෘතිය සිදුකරනු ලබන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සමඟ සුහදව අදහස් හුවමාරු කරගත් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් වසන්ත මාදොල ඉදිකිරීම් කටයුතු සඳහා උපදෙස් ද ලබාදෙන ලදී. මෙම සංචාරය සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කළ මේජර් ජෙනරල් වසන්ත මාදොල කර්මාන්ත ශාලා පරිශ්‍රයේ පිහිටි ගොවිපලේද සංචාරයක නිරත වූයේය.

යක්කල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සංචාරය අවසන් කල මේජර් ජෙනරල් වසන්ත මාදොල රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ සේනාවිධායක ඇතුළු සියලුනිලයින්ට සිය කෘතඥතාවය පුද කළේය.

අලව්ව සහ යක්කල රණවිරු ඇපරල් කර්මාන්තශාලාවන්වල සේවය කරන සියලුම නිලධාරී සහ සෙසුනිලයින් මෙම අවස්ථාවට සහභාගි වුහ.