Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2021 23:18:34 Hours

යුද්ධ හමුදා ඉංජිනේරුවන් මිද්දෙනිය ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට ගුවන් පාලමක් ඉදිකරදෙයි

මිද්දෙනිය ප්‍රාථමික විද්‍යාලය සහ කණිෂ්ඨ විද්‍යාලය අතර බොහෝවිට ප්‍රධාන මාර්ගය තරණය කරමින් මාරුවන සිසුන්ගේ ආරක්‍ෂාව උදෙසා අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත 4 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් තාක්‍ෂණික දැනුම සහ ශ්‍රමදායකත්වය යොදාගනිමින් පසුගියදා ගුවන් පාලමක් ඉදිකරන ලදී.

අතිගරු ජනාධිපතිතුමන් 2020 වර්ෂයේ නොවැම්බර් මස එම ප්‍රදේශයේ සිදුකල සංචාරයක් අතරතුර ගුරුවරුන් සහ දෙමාපියන් විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් සිසුන්ගේ ආරක්‍ෂාව උදෙසා අධික වාහන තදබදයක් සහිත මිද්දෙනිය - පනාමුර ප්‍රධාන මාර්ගය හරහා ගුවන් පාලමක් ඉදිකිරීමට පියවර ගන්නා ලදී.

ඒ අනුව, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර සහ ප්‍රධාන ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් දුමින්ද ජයසිංහ ගේ අධීක්‍ෂණය යටතේ කඩිනමින් ගුවන් පාලම ඉදිකරන ලදී. පසුව, ඒ පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් දැනුවත් කළේය.

4 වන (ස්වේච්ඡා) ශ්‍රි ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් කේ. වරාහේන ගේ අධීක්‍ෂණය යටතේ 2020 නොවැම්බර් මස 18 වන දින කපිතන් ඒ. විජයබණ්ඩාර ඇතුළු එම ඒකකයේ තාක්‍ෂණික භටපිරිස් ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලදී.

මීටර් 17 ක් දිග මීටර් 1.5 ක් පළල මෙම ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු සඳහා රුපියල් මිලියන 16.4 ක් වැය විය. ගුවන් පාලමේ ඉදිකිරීම් කටයුතු 2021 ජූනි මස 27 වන දින සම්පුර්ණයෙන්ම අවසන් කල අතර මේ වනවිට ගුවන් පාලම සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා භාරදීමට සුදානම් කර ඇත.