Header

Sri Lanka Army

Defender of the Nation

05th July 2021 23:12:37 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරයි

කාබනික පොහොර නිෂ්පාදනය කිරිමේ ජාතික ප්‍රතිපත්තියට අනුකූලව, 2021 වර්ෂයේ - මහ කන්න සඳහා අවශ්‍ය කාබනික පොහොර මෙට්‍රික් ටොන් 3600 ක් නිෂ්පාදනය කිරීම ඉලක්ක කරගනිමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මූලසථානය - යාපනය සම්බන්ධතාවයෙන් උද්‍යාන සැකසුම් ශිල්පීන් සමග සාකච්ඡා කර ඉකුත් ඉරිදා (04) දින පලාලි යුද්ධ හමුදා ගොවිපල තුළ කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කළේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා එළඹෙන මහ කන්නයේදී භාවිතා කිරීම සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 3600 ක ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කළේය. මෙම වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවේදී ප්‍රධාන දේශනය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර එම අවස්ථාව සඳහා උද්‍යාන සැකසුම් ශිල්පී කෝලිත වික්‍රමසිංහ සහ මෙම විෂයෙහි ප්‍රධානින් කිහිපදෙනෙකු සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් මෙම ව්‍යාපෘතිය නිමකිරිමෙන් පසු අර්ධද්වීපයේ ගොවිජනතාව අතර කාබනික ගොවිතැනේ ඇති වැදගත්කම සහ එවැනි ක්‍රියාකාරකම්වල දිගුකාලීන බලපෑම් පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමට ද සැලසුම් කර ඇත. සමාරම්භක අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත සේනාංකවල සේනාංකාධිපතිවරුන් ද එක්ව සිටියහ.