02nd July 2021 14:12:21 Hours
නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න පසුගිය බ්‍රහස්පතින්දා (01) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය.
මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් සිදුකළ අනගි සේවය අගයමින් මෙහිදි යුද්ධ හමුදාධිපතිතුමන් එම සේවය පැසසුමට ලක් කළේය.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව බිහිකළ තවත් අභිමානවත් රණවිරුවෙක් ලෙස මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න හැඳින්විය හැක. මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න 64 වන සේනාංක බලප්‍රදේශයේ අවශ්‍යතා සහිත සිවිල් වැසියන්ගේ සුභසාධනය වෙනුවෙන් අපරිමිත සේවයක් ඉටුකළේය. එමෙන්ම, සිය සේවා කාලය තුළ යුද්ධ හමුදාව වෙනුවෙන් ද කැපී පෙනෙන සේවාවක් ඉටු කළේය. වසර 8 කට වැඩි කාලයක් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ලේකම් වශයෙන් වාර්ෂික යුද්ධ හමුදා නත්තල් කැරොල් සහ අනෙකුත් ආගමික වැඩසටහන් සංවිධානය කිරීමේදී මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න දැක්වූ දායකත්වය අති මහත් වේ.
විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න දශක තුනකට අධික වෘත්තීමය දිවිය තුළ කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති, 642 වන බලසේනාවේ බලසේනාධිපති, 622 වන බලසේනාවේ බලසේනාධිපති, බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක, යුද්ධ හමුදා මූලස්ථානයේ මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ සහ ජනමාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ජනමාධ්‍ය වැනි යුද්ධ හමුදා තනතුරු සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ප්‍රධාන තනතුරු ගණනාවක් හොබවා ඇත.
මෙහිදි, අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන්, භක්තිමත් කිතුනුවකු ලෙස යුද්ධ හමුදා සියලු නිලයින් අතර අධ්‍යාත්මික අංශ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දැක්වූ දායකත්වය සහ වසර ගණනාවක් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ලේකම් ලෙස සිදුකළ සේවාව ඇගයීමට ලක්කළේය. එමෙන්ම, කථිකාචාර්යවරයෙකු ලෙස ‘ජාත්‍යන්තර සබඳතා’ පිළිබඳ සියලු නිලයින් වෙත දැනුම ලබාදීමට දැක්වූ දායකත්වය ද යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට ලක්විය.
මෙහිදී, මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න අදහස් දක්වමින් යුද්ධ හමුදාධිපතිතුමන් වෘත්තීය ප්‍රමිතීන් ඉහළ නැංවීමට සහ යුද්ධ හමුදාවේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට කරනු ලබන කැපී පෙනෙන කාර්යභාරය වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකළේය. යුද්ධ හමුදාධිපතිතුමන් පිරිනැමු සුභපැතුම් වෙනුවෙන් ස්තූතිය පුදකළ විශ්‍රාම දිවියට පා තබන ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි ඉටුකිරීමේදී යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලැබුණු දිරිගැන්වීම් පිළිබඳව ද මෙහිදි සිය කෘතඥතාවය පිරිනැමුවේය.
මෙම සුහද හමුව අවසානයේ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් සේවය ඇගයීමක් ලෙස විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් මංජුල කරුණාරත්න වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.