Header

Sri Lanka Army

Defender of the Nation

02nd July 2021 13:00:57 Hours

ආරක්‍ෂක හමුදා වෛද්‍ය කණ්ඩායම් කොවිඩ් - 19 පාලන කටයුතු ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා බලධාරින් සමඟ එක්ව ඉටුකරන අතර ඒ සබැඳිව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ (GMOA) චෝදනා ප්‍රතික්ෂේප කරයි

(මාධ්‍ය නිවේදනය)                   

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (ර.වෛ.නි.ස) ජාතික එන්නත්කරණය සඳහා ආරක්‍ෂක හමුදාවෝ ඉටුකරන කාර්යභාරය හා නැගෙනහිර පළාතේ එන්නත්කරණ වැඩසටහනට ආරක්‍ෂක හමුදාවේ දායකත්වය පිළිබඳව මාධ්‍ය හරහා කර ඇති චෝදනා (නොමනා මැදිහත්වීම, අයහපත් ප්‍රතිඵල ගෙනදෙන ලෙස කටයුතු කිරීම, බලහත්කාරයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල තුලට ඇතුලුවීම) සහ නිරීක්‍ෂණයන් අසත්‍ය හා පදනම් විරහිත හෙයින් ඒ සබැඳිව යුද්ධ හමුදාවේ කරුණු පැහැදිලි කිරීම මෙසේය.        

ර.වෛ.නි.ස ඉහත කරුණු දක්වමින් ගරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත යොමුකරන ලද ලිපියේ පිටපත් ගරු සෞඛ්‍ය අමාත්‍යවරිය සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරින් වෙත යොමුකර ඇතිමුත් එන්නත් ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබාදෙන කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි හෝ යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙත එම චෝදනාත්මක ලිපියෙහි පිටපතක් හෝ යොමු නොකිරීම ඉතා කණගාටුවට කරුණකි. 

ප්‍රථමයෙන්ම, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානි අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගය මත සෞඛ්‍ය අංශ විශේෂඥයන් හා ඒ හා සම්බන්ධ සෞඛ්‍ය බලධාරින්ගෙන් සැදුම්ලත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ත්‍රිවිධ හමුදාව 2021 ජනවාරි මස 28 දින ත්‍රිවිධ හමුදාවේ කොවිඩ් - 19 මර්ධනය සඳහා සක්‍රීයව දායක වන ඉදිරි පෙළ රාජකාරි කරන්නන් හට එන්නත් ලබාදීම ආරම්භ කරන ලදී.

අනතුරුව, අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත රජයේ සෞඛ්‍ය අංශ මඟින් පවත්වාගෙන යනු ලබන එන්නත්කරණ ව්‍යාපෘතිය තවදුරටත් සක්‍රීයව, කාර්යක්‍ෂමව සිදුකිරීමේ අභිලාශයෙන් ආරක්‍ෂක හමුදාවේ මානව සම්පත් ඒ වෙනුවෙන් සම්බන්ධ කරගැනීමට තීරණය විය. ඒ අනුව, යුද්ධ හමුදාවේ විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍ය නිලධාරින්, හෙද කාර්ය මණ්ඩලය සහ අතුරු වෛද්‍ය වෘත්තිකයන් මෙම එන්නත්කරණ වැඩසටහනට දායක වෙමින් ජනාධිපති කාර්යසාධක බලකායේ උපදෙස් පරිදි ආගමික නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය පරිපාලක නිලධාරින් ඉලක්ක කරගෙන එන්නත් ලබාදීම සිදුකළහ.

ඉනික්බිතිව, අතිගරු ජනාධිපතිතුමාගේ විශේෂ උපදෙස් මත ජාතික ආර්ථිකයට මහත් දායකත්වයක් ලබාදෙන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පාලනය වන දිවයින පුරා ව්‍යාප්තව ඇති ඇඟලුම් කර්මාන්ත ශාලාවල සේවය කරනු ලබන කාර්ය මණ්ඩල වෙත මෙම එන්නත ලබාදීමේ භාරදූර කාර්ය ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවන්ගේ වෛද්‍ය කණ්ඩායම් වෙත පවරනු ලැබූ අතර කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ගේ උපදෙස් මත යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ මණ්ඩලය සම්බන්ධීකරණයෙන් ආරක්‍ෂක හමුදා වෛද්‍ය කණ්ඩායම් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, සීතාවක, කොග්ගල, අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය, කටුනායක හා වතුපිටිවල වැනි ප්‍රදේශවල පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවල මෙම එන්නත්කරණය පසුගිය ජුනි මස 24 දින ආරම්භ කරනු ලැබුවේය. ඉතා සාර්ථක ලෙස සිදුකළ මෙම එන්නත්කරණ වැඩසටහන් පැය 48 කටත් අඩු කාලයකදී කාර්යක්‍ෂම ලෙස සම්පූර්ණ කිරීමට ඔවුන් සමත්වූහ.

මෙලෙස ක්‍රියාත්මක වූ එන්නත්කරණය ඉතා කාර්යක්‍ෂම ලෙස පැය 48 කට අඩු කාලයක් තුළ වාර්තාගත ලෙස සේවක සේවිකාවන් 59,898 ක් හට එන්නත ලබාදුන් අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වංසගත රෝග විද්‍යා අංශය මඟින් මේ සඳහා එන්නත් මාත්‍රා 60,000 ක ප්‍රමාණයක් ලබාදී තිබිණි. ඇඟළුම් ක්ෂේත්‍රයේ සේවය කරන අයවළුන් සඳහා මෙම එන්නත් ලබාදීමට පෙර ආරක්‍ෂක හමුදා වෛද්‍ය කණ්ඩායම්, සේනාංකාධිපතිවරුන් සහ බලසේනාධිපතිවරුන් විසින් මෙම කාර්ය සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය පූර්ව සැලසුම් සිදුකළ අතර දිවයිනෙහි අනෙකුත් ප්‍රදේශයන්හි මෙන්ම නැගෙනහිර පළාතේද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්, වසංගත රෝග විශේෂඥයින්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරුන්, මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුන් ඇතුලු මෙම විෂයට සම්බන්ධ හා වගකිව යුතු සෞඛ්‍ය බලධාරින් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙසේ එන්නත් ලබාදුන් ඇඟලුම් සේවකයන්ගේ සීමිත සංඛ්‍යාවකට එන්නත් කිරීමෙන් අනතුරුව යම් යම් සංකූලතා පෙන්නුම් කළේ එන්නත් ලබාගත් අයවලුන්ගේ ශාරීරික හා සෞඛ්‍ය හේතුන් නිසාවෙන් මිස රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරන ආකාරයට හමුදා වෛද්‍ය කණ්ඩායම එන්නත්කරණයේදී සිදු වූ වරදකින් නොවන බව පෙන්වාදෙනු කැමැත්තෙමු. ආරක්‍ෂක හමුදා වෛද්‍ය කණ්ඩායම් මෙම ජාතික කර්තව්‍යය සඳහා දායක වූයේ මෙම මාරාන්තික වෛරසය මර්ධනය කිරීම සඳහා මිස වෙනත් අනවශ්‍ය මැදිහත්වීමක්, අනිසි අතපෙවීමක් හෝ වෙනත් කිසිදු පටු අරමුණක් පෙරදැරි කරගෙන නොවන බව තවදුරටත් පෙන්වා දීමට කැමැත්තෙමු.

මෙහිදී, තවදුරටත් “අපිළිවෙත”, “නොමනා මැදිහත්වීම” සහ “නිසි ක්‍රමවේදයකින් තොරව කටයුතු කිරීම” වැනි කරුණු සම්පූර්ණයෙන්ම පදනම් විරහිත හා අසත්‍ය කරුණු වන අතර මේ හා සමාන සිදුවීමක් නැගෙනහිර පළාතින් මීට පෙරද වාර්ථා වී තිබිණි.

එබැවින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රජයේ වෛද්‍ය නිලධාරි සංගමය විසින් පදනම් විරහිතව එල්ල කර ඇති ඉහත චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අතර මෙම ජාතික කර්තව්‍යයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතියේ අභිවෘද්ධිය උදෙසා වියයුතු සේවය නොපිරිහෙලා ඉටුකිරීමට සහතික වන අතර අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින්, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු සහ එන්නත්කරණ කටයුතු ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන් සමඟ සබඳතාවයෙන් යුතුව ඉදිරියටත් මෙම ජාතික කර්තව්‍යයෙහි පෙරමුණ ගෙන කටයුතු කරන බැව් ප්‍රකාශ කරන්නෙමු. (නිමාව)