30th June 2021 11:57:27 Hours
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයෙන් ආරක්‍ෂක, රාජ්‍ය ආරක්‍ෂක හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) අද (30) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ස්ථාපිත කෙරුණු නව ඩිජිටල්කරණය කරන ලද මෙහෙයුම් කාර්යාලයේ නිරීක්‍ෂණයක නිරත වූහ.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම නවීනතම ඩිජිටල් සංඥා සහ උසස් තාක්‍ෂණ උපාංගයන්ගෙන් යුතු මෙහෙයුම් මධ්‍යස්ථානය මඟින් ඕනෑම භටපිරිසක් සහ ඔවුන් සේවයේ යොදවා ඇති ස්ථානයන් පිළිබඳ ක්‍ෂණයකින් හඳුනාගැනීමේ හැකියාව පවතී. මෙමගින් ඕනෑම හදිසි අවස්ථාවකදී ඉතා කඩිනමින් භටපිරිස් වෙත අවශ්‍ය උපදෙස් ලබාදිය හැකියි.
යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර විසින් පිළිගැනීමේ කථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) වෙත යුද්ධ හමුදා මූලස්ථානයේ තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් තොරතුරු තාක්‍ෂණ ආර්.සී. විජේකෝන් විසින් මෙහෙයුම් කාර්යාලයේ රාජකාරි හා සිදුකරන කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදුකළේය.
මෙම අවස්ථාවේදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මෙම කටයුතු සිදුකිරීමේදී පිළිපැදිය යුතු විශේෂ උපදෙස් එම අවස්ථාවේම අදාළ නිලධාරින්ට ලබාදුන්නේය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) සමඟ මෙහෙයුම් කාර්යාලය සහ ඊට යාබද සැලසුම් අංශයේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වූහ.
මෙම අවස්ථාව සඳහා සපැමිණි ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව විශේෂ හමුදා රථ පෙළපාලියකින් කැටුව එනු ලැබීය. මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.
මෙම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපති යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශාන්ත රණවීර විසින් පිළිගනු ලැබුවේය.
එමෙන්ම, ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් අශෝක පීරිස් ඇතුලු නිලධාරින් පිරිසක් ද මෙම අවස්ථාවට පැමිණ සිටියහ.