Header

Sri Lanka Army

Defender of the Nation

30th June 2021 08:02:53 Hours

පසුගිය සඳුදා (28) දින කොවිඩ් - 19 වෛරසය ආසාදිත කාන්තා මරණ 24 ක් සහ පිරිමි මරණ 21 ක් වාර්ථා වේ

අද (30) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 1,717 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 07 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර තවත් එක් පුද්ගලයෙකු විදේශීය පුද්ගලයෙක් වේ. ඉතිරි පුද්ගලයින් 1,709 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර, ඒ ආසාදිතයින් 348 ක් ලෙසය. ඊට අමතරව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 280 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 198 ක් වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 883 දෙනෙකු දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (30) දින උදෑසන වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 257,224 ක් ලෙස වාර්තා වේ. ඒ අතරින් අළුත් අවුරුදු සමයෙන් පසු වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 150,679 වේ.

අද (30) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 2,222 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (30) දිනයේදී ත්‍රිවිධ හමුදාව සහ හෝටල් තුළ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 73 ක් තුළ පුද්ගලයින් 7,632 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි. එසේම, අද (30) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) නිරෝධායන මධ්‍යස්ථාන 32 ක් තුළින් පුද්ගලයින් 708 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් ඇත.

ජුනි මස (28) වන දින ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදිත කාන්තා මරණ 24 ක් සහ පිරිමි මරණ 21 ක් ඇතුලුව මරණ 45 ක් වාර්තා වී ඇත.

අද (30) දින උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි මොණරාගල දිස්ත්‍රික්කයේ බිබිල පොලිස් බලප්‍රදේශයේ කනුල්වෙල ග්‍රාම නිලධාරි වසම, කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල පොලිස් බලප්‍රදේශයේ හල්ලව ග්‍රාම නිලධාරි වසමේ නියදුරුපොල අංක 1,2,3 හා 4 යන වතු නිවාස, දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ කන්නගම ග්‍රාම නිලධාරි වසමේ දේවාලකන්ද වත්ත කොටස හා ගොඩම්පල ග්‍රාම නිලධාරි වසමේ පඹේගමවත්ත, කළුතර දිස්ත්‍රික්කයේ දොඩංගොඩ පොලිස් බලප්‍රදේශයේ ඇලදූව ග්‍රාම නිලධාරි වසමේ ඇලදූවවත්ත හා ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය පොලිස් බලප්‍රදේශයේ පරණ කොළණිය ග්‍රාම නිලධාරි වසමේ දිවිතුරුවත්ත හුදකලා කර ඇත. එසේම, කළුතර දිස්ත්‍රික්කයේ කළුතර පොලිස් බලප්‍රදේශයේ මිනේරිතැන්න සුනාමි ගම්මානය, ගම්පහ දිස්ත්‍රික්කයේ මීගහවත්ත පොලිස් බලප්‍රදේශයේ සියඹලාපෙවත්ත ග්‍රාම නිලධාරි වසමේ උපුල් වසන්ත මාවත, මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පොලිස් බලප්‍රදේශයේ කිවුලවාඩිය හා ගුරුවෙල ග්‍රාම නිලධාරි වසම සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට පොලිස් බලප්‍රදේශයේ ඇල්ගොඩ ග්‍රාම නිලධාරි වසමේ ඩෙන්ස්වර්ත් වත්ත හුදකලාභාවයෙන් ඉවත් කර ඇත.