Header

Sri Lanka Army

Defender of the Nation

28th June 2021 16:08:45 Hours

කිලිනොච්චි ප්‍රදේශවාසීන්ගේ ආදායම් ඉහළ නැංවීමට යුද්ධ හමුදාවේ සහයෝගය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි විසින් එම ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීමේ අරමුණින් තල් ආශ්‍රිත නිෂ්පාදන ඇතුලු තවත් ව්‍යාපෘති රැසක් මේ වනවිට ක්‍රියාත්මක කර ඇත.  

සාම්ප්‍රදායික තල් නිෂ්පාදන සඳහා වඩා හොඳ වෙළඳපොලක් සකස් කිරීමේ අරමුණින් 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක සහ 661 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් දීප්ත ආරියසේන මැදිහත් වී කිලිනොච්චි ප්‍රදේශයේ මහජනතාව වෙනුවෙන් තල් නිෂ්පාදන පිළිබඳ අධ්‍යාපනික වැඩසටහන් ආරම්භ කර ඇත. ඒ අනුව, සිවිල් වැසියන් 47 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පුහුණු පාඨමාලාවක් ආරම්භ කරමින් හස්ත කර්මාන්ත, ආහාර නිෂ්පාදන ආදිය නව්‍යකරණය කිරීමට එම වැසියන් දිරිමත් කරනු ලබයි.

එමෙන්ම, 24 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 5 වන (ස්වෙච්ඡා) යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් අඩු ආදායම්ලාභී පවුල් 4 ක් තෝරාගෙන එම පවුල් වලට අමතර ආදායමක් උපයාගැනීමේ අරමුණින් කුකුල් පැටවුන් ලබාදුන්හ.

ඊට අමතරව, 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාව විසින් බලඇණි මට්ටමින් එක්රැස්වන කාබනික අපද්‍රව්‍ය අවම කිරීම සහ බලඇණි ගොවිපලෙහි වගාකරනු ලබන පෝෂ්‍ය පදාර්ථ ප්‍රතිචක්‍රීකරණය කිරීමේ අරමුණින් කොම්පොස්ට් පොහොර නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. ගොවීන් අතර රසායනික පොහොර වෙනුවට කොම්පොස්ට් පොහොර භාවිතා කිරීමට හුරුකරවීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.  

එම ව්‍යාපෘතිවලට අමතරව, 20 වන (ස්වෙච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් මුරුක්කු සහ වෙනත්කෑම වර්ග පිළියෙල කිරීම සඳහා පී. සුබ්‍රමනියම් මහතා වෙත අමුද්‍රව්‍ය ලබා දී ඇත. ඔහුට අමතර ආදායමක් උපයා ගැනීම වෙනුවෙන් 66 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම යුද්ධ හමුදා ආපනශාලා සහ සුභසාධන වෙළඳසැල් මේ වනවිට ඔහුගේ නිෂ්පාදන මිලදී ගනු ලබයි.

එමෙන්ම, 662 වන බලසේනාවේ හිටපු බලසේනාධිපති බ්‍රිගේඩියර් රවී පතිරවිතානගේ ඉල්ලීමකට අනුව කොළඹ රොටරි සමාජයේ අනුග්‍රාහකත්වයෙන් සේරුක්කන් සහ සීතකුඩිරිප්පු ගම්මානවල වෙසෙන පවුල් 56 ක් සඳහා ප්‍රයෝජනයට ගතහැකි වන පරිදි ජල ටැංකි දෙකක් ඉදිකර ඇත. එම ජල ටැංකි දෙක ආරක්‍ෂක සේනා ආඥාපති - කිලිනොච්චි මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ සහ 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් අජිත් දිසානායක විසින් මහජනතාව වෙත භාරදුන්හ. මෙම ව්‍යාපෘතියේ අධීක්‍ෂණ කටයුතු 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් අයි.කේ.ඒ.සී. කුමාර විසින් සිදුකරනු ලබන අතර එම ඒකකයේ භටපිරිස් විසින් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

තවද, 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් දමිල පවුල් 4 කට කුකුල් පැටවුන් 25 බැගින් කුකුල් පැටවුන් 100 දෙනෙක්, කුකුල් කූඩු 4 ක් සහ තවත් පවුල් 10 කට තිබ්බටු පැළ 250 ක් ‍ද බෙදාදුන්හ.