Header

Sri Lanka Army

Defender of the Nation

27th June 2021 23:54:11 Hours

65 වන සේනාංකයේ භටපිරිස් ආගමික ස්ථාන සඳහා වියළි සලාක පරිත්‍යාග කරති

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 65 වන සේනාංකයේ භටපිරිස් පොසොන් පුර පසලොස්වක පොහොය නිමිති කරගනිමින් පසුගිය බ්‍රහස්පතින්දා (24) දින වැඩසටහනක් ක්‍රියාත්මක කළහ. ඒ අනුව, කොවිඩ් - 19 වෛරසය සහ සංචරණ සීමා හේතුවෙන් විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටින විහාරස්ථාන සහ ආරාමවල වැඩවසන භික්‍ෂූන් වහන්සේලා සහ මෙහෙණින් වහන්සේලා සතු දුෂ්කරතාවයන් සමනය කිරීමේ අරමුණින් එම ආගමික ස්ථාන සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ වියළි සලාක ලබාදීමට කටයුතු කළහ. මෙම වැඩසටහන සඳහා කැනඩාවේ වෙසෙන දානපතියෙකු විසින් සිය අනුග්‍රාහකත්වය සැපයුවේය.

65 වන සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ නිලධාරි ලුතිතන් කර්නල් ජේ.ඩී.යූ.ටී. කුමාර ගේ සම්බන්ධීකරණය මත කැනඩාවේ ජීවත්වන මොරිස් සෝන්ඩර්ස් ජයතිලක මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව මෙම වැඩසටහන සංවිධානය කළ අතර, 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසානායක විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කළේය.

මෙම වියළි සලාක පාර්සල් පිරිප්පන්මඩුව ශ්‍රී පඥ්ඥානන්ද විහාරස්ථානය, සැළලිහිණිගම ශ්‍රී සධාසිරි මහා විහාරය, සැළලිහිනිගම ශ්‍රී සුදාහර්ම මෙහෙනි ආරාමය, නන්දමිත්‍රගම සුජාතාරාම මෙහෙනි ආරාමය, ඇටඹගස්කඩ රජමහා විහාරස්ථානය සහ කොක්එළිය ශ්‍රී බෝධිමළු විහාරස්ථානය වෙත පරිත්‍යාග කරනු ලැබූහ. මෙම වැඩසටහන කොවිඩ් - 19 වෛරසය හේතුවෙන් පනවා ඇති සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශ වලට අනුකූලව පවත්වන ලදී.

එම ආගමික ස්ථානවල ඇති දුෂ්කරතා පිළිබඳව නිරීක්‍ෂණය කිරීමෙන් අනතුරුව 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ටිකිරි දිසනායකගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.