Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2021 11:52:30 Hours

බෙලිඅත්ත රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස වැඩිදියුණු කරයි

සෞඛ්‍ය බලධාරින් සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ප්‍රසන්න රණවක ගේ උපදෙස් මත කොවිඩ් - 19 වෛරසය ආසාදිතයින්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා යුද්ධ හමුදා භටපිරිස් බෙලිඅත්ත ආයුර්වේද රෝහල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කරන ලදී.

කොවිඩ් - 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දිවයින පුරා කොවිඩ් - 19 ආසාදිතයින්ගේ ප්‍රයෝජනය සඳහා ඇඳන් ප්‍රමාණය ඉහළ නැංවීමට සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ලබාදුන් උපදෙස් වලට අනුව එහි තවත් එක් අදියරක් ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ලමාහේවගේ විසින් මෙම නිරෝධායන මධ්‍යස්ථානය දින කිහිපයක් තුළ සියලු පහසුකම් වලින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස පරිවර්ථනය කිරීමට වහාම පියවර ගත්තේය.

ඒ අනුව, 122 වන බලසේනාව යටතේ ස්ථාපිත 23 වන ගජබා රෙජිමේන්තුව, 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව සහ 17 වන (ස්වෙච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස් සෞඛ්‍ය බලධාරින් සහ අනෙකුත් නිලධාරින් සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට සිය දායකත්වය ලබාදුන් අතර පසුගිය අඟහරුවාදා (22) දින මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය රෝහල් බලධාරින් වෙත භාරදුන්හ.

සියලු වෛද්‍ය පහසුකම් වලින් සමන්විත මෙම නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ කොවිඩ් - 19 ආසාදිතයින් 100 දෙනෙකුට ප්‍රතිකාර ලබාගැනීමේ හැකියාව පවතී. 12 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුලු එම සේනාංකයේ භටපිරිස්වල ශ්‍රම දායකත්වයෙන් වැඩිදියුණු කළ මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය බලධාරින් වෙත භාරදුන්හ. ව්‍යාපෘතියේ අවසානය දක්වාම එම සේනාංකයේ සේනාංකාධිපති විසින් එහි අධීක්‍ෂණ කටයුතු සිදුකළේය.

මෙම අවස්ථාව සඳහා දකුණු පළාත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය සී. එල් ගුරුගේ මහතා සමඟ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය දීපිකා පටබැඳිගේ, බෙලිඅත්ත ආයුර්වේද රෝහල් භාර නිලධාරි වෛද්‍ය ශ්‍යාමා පී. හේවගේ සහ 122 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක පල්ලේකුඹුර ඇතුලු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද සහභාගී වූහ.