Header

Sri Lanka Army

Defender of the Nation

04th July 2021 16:30:53 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ලෙස මේජර් ජෙනරල් සිසිර පිලපිටිය රාජකාරී අරඹයි

විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ආරක්‍ෂක සේනා මුලස්ථානය - මුලතිව් නව ආඥාපති ලෙස පසුගිය බදාදා (23) දින පැවැති උත්සවයකදී රාජකාරී කටයුතු ආරම්භ කළේය.

ආරක්‍ෂක සේනා මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව ආඥාපතිතුමන් වෙත 18 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමා පිළිගත්හ. මෙම උත්සවය පවතින සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව සීමිත භටපිරිසකගේ සහභාගීත්වයෙන්පැවැත්විය.  

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සිය කාර්යාලයේ දී ආගමික වතාවත් මධ්‍යයේ නිල ලේඛණට අත්සන් තබමින් නව ධූරයේ රාජකාරී ආරම්භ කළේය. පසුව, එතුමන් එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් ද රෝපණය කළේය.

මේජර් ජෙනරල් සිසිර පිලපිටිය, සිය ධූරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන්වල භටපිරිස් අමතමින් යුද්ධ හමුදාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා එක්ව කණ්ඩායමක් ලෙස වැඩකිරීමේ වැදගත්කම පෙන්වා දුන්නේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ධූරය හෙඹවූ මේජර් ජෙනරල් උපාලි රාජපක්‍ෂ විශ්‍රාම ගැනීමෙන් පසු මෙම නව තනතුරට පත්වූ මේජර් ජෙනරල් සිසිර පිලපිටිය මෙම තනතුරට පත්වීමට පෙර 55 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස කටයුතු කළේය.

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් ධූරයේ රාකාරී ඇරඹීමේ උත්සව අවස්ථාව සඳහා ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් ආඥාපති, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන් ඇතුලු යුද්ධ හමුදා සාමාජිකයින් පිරිසක් සහභාගී වූහ.