Header

Sri Lanka Army

Defender of the Nation

08th June 2021 15:41:26 Hours

“ශ‍්‍රී ලංකාව ආයෝජන අවස්ථාවන් රාශියකින් සමන්විත රාජ්‍යයක් බවත් අප රට සමග ආර්ථික සම්බන්ධතා වර්ධනය කරගනිමින් විශ්වසනීය සහයෝගයක් සහ උපායමාර්ගික ආර්ථික සබදතා තුළින් දෙපාර්ශ්වයටම ප‍්‍රතිලාභ හිමිවන ආයෝජනයන් කෙරෙහි යොමුවීමට හැකිබවත්” යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

වර්ෂ 2021 ක් වූ ජුනි මස 07 දින සිට 09 දක්වා රටවල් 65 කට අධික නියෝජනයක් සහිත ශ‍්‍රී ලංකා ආයෝජන සංසදයේ වාර්ෂික සැසිවාරයේදී ශ‍්‍රී ලංකාවේ කොව්ඞ් 19 වසංගතය කළමනාකරණය කිරීම, ජීවිතාරක්‍ෂාව, ජීවනෝපාය හා ආර්ථීක වර්ධනය පිළිබදව ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල් විසින් කාලීන වශයෙන් වැදගත් දේශණයක් සැසිවාරය අමතා පවත්වන ලදී.

එහිදී සිදුකරන ලද දේශණය පහත දැක්වේ.

ශ‍්‍රී ලංකාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී, යුද්ධ හමුදාධිපති හා කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී වශයෙන් අද දින මෙම ආයෝජන සංසදය ඇමතීමට අවස්ථාව උදාවීම මා ලත් විශේෂ වරප‍්‍රසාදයක් ලෙස සලකන අතර, ඒ සදහා මාහට ආරාධනා කිරීම සම්බන්ධයෙන් මෙම අයෝජන සමුළුවේ සංවිධායක මණ්ඩලයට මාගේ ස්තූතිය පළකිරීමට කැමතියි. මෙම අවස්ථාවේදී කොවිඩ් 19 වසංගතය කළමනාකරණය කිරීම, ජීවිතාරක්‍ෂාව, ජීවනෝපාය හා ආර්ථීක වර්ධනය පිළිබදව අදහස් ඔබ සමග බෙදාගැනීමට මම අපේක්‍ෂා කරනවා.

අප සියලූදෙනාම දන්නා පරිදි, කොවිඩ් 19 වසංගතය ලෝකයේ සියලූම මනුෂ්‍ය වර්ගයාගේ ජීවනෝපායන්ට, සමාජීය හා ආර්ථික යහපැවැත්මට සැලකිය යුතු මට්ටමේ බාධාවන් ඇති කර තිබෙනවා. ආර්ථික පසුබැසීම් වලට අමතරව, මෙම වසංගත තත්වය පෙර නොවූ ආකාරයෙන් මනුෂ්‍ය ජීවිතයන්හි සුරක්‍ෂිතභාවය කෙරෙහිද බලපෑමක් ඇතිකර තිබෙනවා. එකිනෙක බැදුණු ලෝක තත්වයන් යටතේ අපගේ ජීවනෝපායන් රටක් වශයෙන් තනිව පවත්වාගෙන යාමට නොහැකියි. එබැවින් ලෝකය සමග ආර්ථික හා රාජ්‍ය තාන්ත‍්‍රික සමාජ සම්බන්ධතා පවත්වාගෙන යෑම අත්‍යාවශ්‍යයයි. මේ සදහා කොවිඩ් වසංගතය කළමනාකරණය, ආර්ථිකය ආරක්‍ෂා කිරීම හා සාමාන්‍ය ජන ජීවිතය නැවත ගොඩනැංවීම විශාල අභියෝගයක් බව අප වටහාගත යුතුයි.

කොවිඩ් 19 වසංගතය ඉදිරියේ වුවද රටේ ආර්ථිකය නැවත යථා තත්වයට පත්කිරීම, සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම හා සමාජීය කාර්යයන් යළි සාමාන්‍ය තත්වයට ගෙන ඒම වෙනුවෙන් අවම නීති රෙගුලාසි යටතේ රටේ සමාජ, ආර්ථික ක‍්‍රියාකාරකම් යහපත් ආකාරයෙන් ඉදිරියට පවත්වාගෙන යාම තීරණාත්මක සාධකයක් වෙනවා.

ශ‍්‍රී ලංකාවේ පවතින මෙම අවශ්‍යතාවය අතිගරු ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ රජය විසින් ඉතාමත් හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා. ඒ අනුව, අප රටේ කොවිඩ් වසංගතයට ප‍්‍රතිචාර දැක්වීමේ ක‍්‍රමවේදය වූයේ, පළමුව, වෛරසය දිගින් දිගටම පැතිරයාම වැලැක්වීම, දෙවනුව, ආසාදිතයින්ද ඔවුන්ට නිරාවරණය වූ අයවලූන්ද අවදානම් පිරිස්ද අන් අයගෙන් වෙන්කොට තැබීමෙන් පැතිරීම වැලැක්වීම, තෙවනුව, ජීවිතහානි අවම කිරීමට ආසාදිතයින්ට ප‍්‍රතිකාර කිරීම, සිව්වනුව, වසංගතය හේතුවෙන් ආදායම් අහිමිවීමෙන්ද සංචරණ සීමාවන් හේතුවෙන් සහ වෛද්‍ය හා අත්‍යාවශ්‍ය සේවාවන්හි අවශ්‍යතා නොලැබීම හේතුවෙන් ජනතාවට සිදුවන පීඩා අවමකිරීම, පස්වෙනුව, වෛරසය පාලනය සදහා සුදුසුම පිළිගත් ක‍්‍රමවේදය වන එන්නත්කරණය තුළින් ජනතාවගේ ප‍්‍රතිශක්තිකරණය වර්ධනය කිරීම සහ අවසන් වශයෙන් වසංගතය අතරතුරදී හා ඉන් පසුකාලයේදීත් රටේ ආර්ථිකයේ හා ජීවනෝපායන්ගේ ක‍්‍රමික වර්ධනයක් පවත්වාගෙන යාමයි.

අතිගරු ජනාධිපතිතුමන් විසින් මාගේ නායකත්වය යටතේ පත්කරන ලද කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය ශ‍්‍රී ලංකාවේ කොවිඩ් 19 වසංගතයට එරෙහිව මූලිකත්වය ගෙන ක‍්‍රියාත්මක වන ජාතික ආයතනයයි. මෙම මධ්‍යස්ථානය සෞඛ්‍ය හා වෛද්‍ය බලධාරීන්, හමුදා සාමාජිකයින්, නීති විශාරදයින්, ආර්ථික විශේෂඥයින්, ආපදා කළමනාකරණ නිලධාරීන්, පරිපාලන නිලධාරීන් මෙන්ම සමාජයේ ඉහළ බුද්ධිමතුන් හා උගතුන්ගෙන් සමන්විතයි. ඊට අමතරව, ආර්ථීක පුනර්ජීවනය ඇතිකිරීම හා දුප්පත්කම නැතිකිරීම තුළින් මහජනතාව තුළ යහපත් ආර්ථික හා සමාජ තත්වයක් ගොඩනැගීමේ අරමුණින් යුතුව අතිගරු ජනාධිපතිතුමන් විසින් ජනාධිපති කාර්ය සාධක බලකායක්ද ස්ථාපිත කර තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය මගින් නියමිත වේලාවන් තුළදී යාවත්කාලීන වූ නිවැරදි තොරතුරු මත පදනම්ව වෛද්‍ය යටිතල පහසුකම්, සංචරණ සීමාවන් පැනවීම, ප‍්‍රදේශයන් හුදෙකලා කිරීම, ජීවනෝපායන් පවත්වාගෙන යාමට සහායවීම වැනි තත්වයන් සදහා අවශ්‍ය නිර්දේශයන් ලබාදීම සිදුවෙනවා.

එම නිර්දේශයන් මත පදනම්ව අතිගරු ජනාධිපතිතුමන් ප‍්‍රමුඛ රජය විසින් රටතුළ ක‍්‍රියාත්මක වියයුතු ක‍්‍රමවේදයන් පිළිබදව තීරණයන්ට එළඹීම සිදුවෙනවා. එබැවින්, රටේ ඉහළම අධිකාරීන්ගේ මාර්ගෝපදේශයන්ට අනුව පුළුල් දැක්මක් සහිත හා සංවිධානාත්මක කණ්ඩායමක් ලෙස අප අපගේ සියලූ උත්සාහයන් කොවිඩ් 19 වසංගතයට එරෙහිව ක‍්‍රියාත්මක වීම සදහා යොදවනු ලබන බව මම පැවසිය යුතුයි.  

මෙම ක‍්‍රමවේදයන් ක‍්‍රියාත්මක කිරීමේදී සමාජ දුරස්ථභාවය, යහපත් සෞඛ්‍ය පුරුදුවලට යොමුකිරීම, ආසාදිතයින් හදුනාගැනීම, හුදෙකලා කිරීම හා නිරෝධායන ක‍්‍රියාවලිය අප අනුගමනය කරන ක‍්‍රමෝපායයි. ආශ‍්‍රිතයින් සොයාගැනීමේ කාර්යය සාර්ථක කරගැනීම සදහා හමුදාවන් සහ ජාතික බුද්ධි සේවාවන් උපරිම වශයෙන් අප යොදවාගන්නා අතර, මහජන සෞඛ්‍ය බලධාරීන් විසින් ඔවුන් අධීක්‍ෂණය සහ ආසාදිතයින් එම ස්ථානයන්ගෙන් රැගෙනයාම සදහා සහයෝගය ලබාදීම සිදුවෙනවා. රටේ සෞඛ්‍ය සේවාවන්ගේ සහයෝගය මත රටේ ආරක්‍ෂක අංශයන් හුදෙකලා කිරීම හා නිරෝධානය ක‍්‍රියාවලියේදී මූලිකත්වය ගෙන කි‍්‍රියාකරනවා. මෙහිදී, ආරක්‍ෂක හමුදාවන් නිරෝධායන මධ්‍යස්ථාන ඉදිකිරීම, නඩත්තු කිරීම හා ආරක්‍ෂාව සැපයීම හා අවශ්‍යතාවය මත හමුදා වෛද්‍ය සේවාවන්ගේ සහයෝගය දිවයින පුරා පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත ලබාදීමද සිදුකරනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව අතරමැදි ප‍්‍රතිකාර මධ්‍යස්ථාන පිහිටුවීම හා නඩත්තුකිරීම සදහා ආරක්‍ෂක හමුදාවන් සහයෝගය ලබාදෙන අතර, එමගින් වෛරසය පැතිරීම පාලනය කිරීම, ආසාදිතයින් අන් අයගෙන් වෙන්කර තැබීම හා නිරාවරණය වූවන් සහ අවදානම් පිරිස් වෙන්කරතැබීම සදහා කටයුතු කිරීම අපගේ අපේක්‍ෂාවයි. අප රටට පැමිණෙන සංචාරකයින්, විදේශ ජාතිකයින් මෙන්ම මෙරට වාසය කරන විදේශ ව්‍යාපාරිකයින් අප කිසිදු අවස්ථාවක නොසලකා හැර නැහැ. ශ‍්‍රී ලාංකික ජාතිය වශයෙන් ඔවුන් පිළිබද මෙම වසංගතය ආරම්භයේ සිටම විශේෂ අවධානයක් හා සැලකිල්ලක් දක්වමින් ඔවුන්ගේ සුරක්‍ෂිතබව හා යහපැවැත්ම පිළිබදව වැඩි අවධානයකින් කටයුතු කරනු ලැබූ බව මෙහිදී සදහන් කළ යුතුයි.

අද වනවිට ජීවිත අහිමිවීම අවම කිරීම සදහා සෞඛ්‍ය බලධාරීන් ඉතා විශාල වෙහෙසක් දරමින් සිටිනවා. ඒ වගේම, හැකි ඉහළම ප‍්‍රතිකාර ක‍්‍රමවේදයන් හා පහසුකම් ලබාදෙමින් ආසාදිතයින්ගේ ජීවිත ආරක්‍ෂා කිරීම සදහා මනා කළමනාකරණයකින් යුතුව ක‍්‍රියාමාර්ග ගැනීමට අප සමත්වී තිබෙනවා.

ශ‍්‍රී ලංකාව තුළ නව සාමාන්‍යකරණය පවත්වාගෙන යාම සහ වසංගතය හා ආර්ථික පසුබෑම් හේතුවෙන් මහජනතාවට ඇතිවන පීඩාවන් අවමකිරීම සදහා අවශ්‍ය තොරතුරු එකතුකිරීම, වාර්තා ඉදිරිපත් කිරීම හා අදාළ අයවලූන් වෙත බෙදාහැරීම සදහා රාජ්‍ය යාන්ත‍්‍රණය ශක්තිමත් කර අවශ්‍ය බලතල ලබාදී තිබෙනවා. එමගින්, අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවාවන් මහජනතාව වෙත බාධාවකින් තොරව ලබාදීමට සංවිධානාත්මක කාර්යභාරයක් පෞද්ගලික අංශයේද සහයෝගය මත රාජ්‍ය යාන්ත‍්‍රණය විසින් ක‍්‍රියාත්මක කර තිබෙනවා.

වෛරස ව්‍යාප්තිය සහිත ප‍්‍රදේශ හා රටේ දැනට පවතින තත්වයන් මත මුළු රටම ආවරණය වන පරිදි රජය මගින් එන්නත්කරණ වැඩපිළිවෙල සාර්ථකව ක‍්‍රියාත්මක කරමින් පවතිනවා. රජයේ විශේෂ අවධානය යොමුකර ඇති මෙම එන්නත්කරණ වැඩපිළිවෙල සදහා ශ‍්‍රී ලංකා රජය වෙනත් රාජ්‍යයන් සමග පවත්වාගෙන යන රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා එන්නත් මෙරටට ලබාගැනීමේදී විශේෂ දායකත්වයක් ලබාදී ඇති අතර, ඉදිරියේදී මෙරටට තවත් එන්නත් මාත‍්‍රා විශාල ප‍්‍රමාණයක් ලබාගැනීමටත් රජය මගින් ක්‍රියාකර තිබෙනවා. මේ හරහා 2021 වසර අවසානය හෝ 2022 වර්ෂයේ මුල් කාලසීමාව වනවිට ශ‍්‍රී ලංකාවේ සියලූම ජනතාව එන්නත්කරණය තුළින් වෛරසයෙන් ආරක්‍ෂාකරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙමගින් රටේ වැඩකරන ජනතාව, මහා පරිමාණ ආර්ථික ව්‍යාපාර සහ ඒ හා බැදුණු ව්‍යාපාරිකයින් මෙන්ම රටේ පොදුජනතාව අප රටේ දියුණුව සදහා දායක කරගැනීමට අප අපේක්‍ෂා කරනවා. අප රටක් වශයෙන් පළමු හා දෙවන කොවිඩ් රැලි සාර්ථකව පාලනය කරගත් අතර, මේ දක්වා අප තුන්වන රැල්ලත් සාර්ථකව පාලනය කරගැනීම සදහා අවශ්‍ය ක‍්‍රියාමාර්ග ගනිමින් පවතිනවා.

කොවිඩ් 19 වෛරසය සුළුපටු ලෙස සැලකිය හැකි සෞඛ්‍ය තර්ජනයක් නොවන බව අප අවබෝධ කරගත යුතුයි. මෙම වසංගතය පාලනය කිරීම මගින් රටේ ආර්ථීකය හා ජීවන තත්වයන්ද කළමනාකරණය කිරීම සදහා හැකියාවක් ලැබෙනවා. වසංගතයේ නැගීසිටීම ආර්ථික පසුබෑමටත් බලපෑම් ඇතිකරනවා. එමනිසා, රටේ ආර්ථීකයට බලපෑම් ඇතිකරන ජාතික හා ජාත්‍යන්තර ආර්ථික ක‍්‍රියාකාරකම්වල ඇති වැදගත්කම රජය විසින් කිසිදු අවස්ථාවක අඩු තක්සේරුවකට ලක්කර නැහැ.

අපේ රටේ අතිගරු ජනාධිපතිතුමන්ගේ දුරදර්ශී නායකත්වය යටතේ පවතින රජය විසින් කොවිඩ් වසංගතයට සාර්ථකව මුහුණදෙන අතරතුර, රටේ ආර්ථික දර්ශකයන් යහපත් මට්ටමක තබාගැනීමේ ඇති වැදගත්කම මූලිකවම හදුනාගත්තා. මෙහි මූලික අඩිතාලම වූයේ දෛනික ආදායම් උපදවන්නන්ගේ සිට රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ඇගලූම් කර්මාන්ත ශාලා වැනි මහා පරිමාණ කර්මාන්තශාලා දක්වා අවශ්‍ය ආරක්‍ෂාකාරී ආර්ථික පරිසරයක් පවත්වාගෙන යාමයි. ශක්තිමත් විශාල ආර්ථිකයක් නොමැති ශ‍්‍රී ලංකාව වැනි කුඩා රටක් දීර්ඝ කාලයක් වසා දමමින් පවත්වාගෙන යාමට නොහැකි බව අප වටහාගත යුතුයි. මෙම වසංගත කාලය තුළ වුවත් මේ දක්වා අප රටේ ආර්ථික කටයුතු ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට හැකිවූ බව මගේ විශ්වාසයයි. මේ පිළිබදව දේශීය හා විදේශීය ආයෝජකයින්ගේ විශේෂ අවධානයක් යොමුවිය යුතුයි. මෙවැනි වසංගත තත්වයක් පවතින අතරතුර වුවද දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමටත් ආහාර හා සේවාවන්ගෙන් ස්වයංපෝෂිත තත්වයක් ලගාකරගැනීමටත් අපනයන වර්ධනය කිරීමටත් භාණ්ඩ හා සේවාවන්හි එකතුකල අගය වර්ධනය කිරීමටත් අපගේ අවධානය යොමුවී තිබෙනවා. ශ‍්‍රී ලංකා රජය විසින් සුළු, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාර ධෛර්යමත් කිරීම හා ශක්තිමත් කිරීමට අවශ්‍ය මූල්‍ය, නෛතික හා තාක්‍ෂණික සහයෝගය නිරන්තරයෙන් ලබාදෙමින් සිටිනවා.

එමනිසා මේ වනවිට තිබෙන තත්වයන් යටතේ ශ‍්‍රී ලංකාව කෘෂිකාර්මික, කාර්මික හා සේවා ආයෝජකයින්ට නව අවස්ථාවන් රාශියක් උදාකර තිබෙනවා. මෙවැනි වසංගත තත්වයක් යටතේ අප රටේ සෞඛ්‍ය හා ආර්ථික අංශයන් පවත්වාගෙන ආ සමබරතාවය හේතුවෙන් මෙවැනි තත්වයක් ලගාකරගැනීමට හැකිවූ බව මාගේ විශ්වාසයයි.

ශ‍්‍රී ලංකාවේ ජාතික ආර්ථිකය මෙම වසංගතයට පෙරත් වසංගතය අතරතුරත් සහ මෙම වසංගතයෙන් පසුවත් ආරක්‍ෂාකර ගැනීම රටට බලපාන තීරණාත්මක කාරණයක් වෙනවා. ජාතික ආර්ථිකයට බලපාන අභ්‍යන්තර හා බාහිර කරුණු කෙරෙහි සමබර අවධානයක් අපි යොමුකර තිබෙනවා. මෙම වසංගතය පාලනය කිරීම සදහා පනවන ලද සංචරණ සීමා අතරතුර වුවද රටේ ආර්ථිකය හා සම්බන්ධ ක‍්‍රියාකරකම් නොනවත්වා පවත්වාගෙන යාමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග අප විසින් රැගෙන ඇතිබව මම මෙහිදී විශේෂයෙන් ඔබගේ අවධානයට යොමු කළයුතු කරුණක්.

අපගේ වසංගත කළමනාකරණ ක‍්‍රමෝපායේදී කර්මාන්ත ශාලා, අපනයන හා ජාත්‍යන්තර වෙළදාම කිසිදු බාධාවකින් තොරව සිදුකිරීමට අවස්ථාව ලබාදුන් අතර, මෙහිදී ක‍්‍රියාත්මකව පවතින ආයතනයන්හි සේවකයින්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව තහවුරු කිරීම සදහා අවශ්‍ය සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ ඊට අවශ්‍ය පහසුකම් සැපයීමට අප විසින් ක‍්‍රියාකරනු ලැබුවා. මෙම තත්වය ශ‍්‍රී ලංකා ආර්ථීකය ශක්තිමත්ව පවත්වාගෙන යාමේදීබෙහෙවින් ඉවහල් වුණා.

ශ‍්‍රී ලංකාව ආරක්‍ෂිත ගමනාන්තයක් බවට තහවුරු කරමින් විදෙස් සංචාරකයින්ට සුරක්‍ෂිත සංචාරක වාතාවරණයක් රටතුළමේ වනවිට අප ඇතිකර තිබෙනවා. තවද, අප මේ වනවිටත් ජෛව ආරක්‍ෂිත බුබුළු සංකල්පය ක‍්‍රමවත්ව භාවිතා කරමින් සංචාරක, ක‍්‍රීඩා හා රාජ්‍ය තාන්ත‍්‍රික සංචාර වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සලසමින් සිටිනවා. ශ‍්‍රී ලංකාව මේ වනවිටත් යම් පුද්ගලයෙකු මෙරටට පැමිණි අවස්ථාවේ සිට රටින් පිටවන තෙක් ජෛව ආරක්‍ෂිත පරිසරයක් තුළ කටයුතු කිරීම පිළිබදව ඇති හැකියාව තහවුරු කර තිබෙනවා. එහිදී වඩාත් උසස් සේවාවක් ලබාදීම සදහා අපි යටිතල පහසුකම්, ප‍්‍රවාහන, ආහාරපාන සහ සෞඛ්‍ය පහසුකම් ආදී සේවාවන් හි අවශ්‍ය වන ධනාත්මක වෙනස්කම් සිදුකිරීමට කටයුතු කරනු ලැබුවා.

තවද, මේ වනවිට අප ශ‍්‍රී ලංකාවේ සමුළු, සම්මන්ත‍්‍රණ, සම්භාෂණ හා ප‍්‍රදර්ශන (MICE) සංචාරක සංකල්පය වර්ධනය කිරීමට හා පහසුකම් සැලසීමට අවධානය යොමුකර තිබෙනවා. මේ වනවිට රටතුළ හා ලෝකයේ පවතින තත්වයන් සලකා බලනවිට ශ‍්‍රී ලංකාව තුළ ඇති ධනාත්මක හා ආරක්‍ෂිත වටපිටාව ශ‍්‍රී ලංකාවේ මෙම සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමට මහත් පිටුවහලක් වේයැයි අප බලාපොරොත්තු වෙනවා.  

ශ‍්‍රී ලංකාව තුළ ඇති වසංගත තත්වය මධ්‍යයේ වුවද රටෙහි කර්මාන්ත හා ව්‍යාපාර සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකම් ඉදිකිරීමට කටයුතු සිදුකර ඇති බව මෙහිදී සදහන් කළ යුතුයි. මෙය අභ්‍යන්තර හා බාහිර ආර්ථික සම්බන්ධතා වර්ධනය සදහා කැපී පෙනෙන දායකත්වයක් ලබාදෙන අවස්ථාවක් වෙනවා. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන සංවර්ධන ව්‍යාපෘති සහ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘති කිසිවිටෙකත් කොවිඩ් වසංගතය හේතුවෙන් ප‍්‍රමාද නොවූ අතර, ඒවායෙහි සේවයේ නියුතු සේවකයින්ගේ සෞඛ්‍යාරක්‍ෂාවද කිසිවිටෙකත් තර්ජනයට ලක්වීමට අප ඉඩතැබුවේ නැහැ.

ශ‍්‍රී ලංකාවේ ආර්ථිකයේ ක‍්‍රමික වර්ධනයක් පවත්වාගෙන යාම සඳහා ජාත්‍යන්තර වෙළදාමේ ශ‍්‍රී ලාංකීය අනන්‍යතාවය ආරක්‍ෂාකරගනිමින්, කෘෂි කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අංශයන් කොවිඩ් 19 වසංගතය මධ්‍යයේම සෞඛ්‍ය මාර්ගෝපදේශයන් අනුව පවත්වාගෙන යාමට අප සමත්වුණා. මෙහිදී ශ‍්‍රී ලංකාවට ආවේණීක වූ කෘෂි නිෂ්පාදන වන තේ සහ කුළුබඩු වැනි නිෂ්පාදන සදහා විශේෂ අවධානයක් යොමුකරනු ලැබුවා.

ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටීම මත මුහුදු මාර්ගගත ප‍්‍රවාහනය, නැවත පැටවීමේ මෙහෙයුම් හා ප‍්‍රති අපනයනය වැනි ක්ෂේත‍්‍රයන්හි ඇති වැදගත්කම හොදින් වටහාගෙන තිබෙනවා. එමෙන්ම, ලොවපුරා සිටින විදේශීය මිත‍්‍ර රාජ්‍යයන්හි අපේක්‍ෂාවන්හි වැදගත්කම සහ එහිදී ශ‍්‍රී ලංකාවේ කාර්යභාරයත් අප තේරුම්ගෙන තිබෙනවා. එම රාජ්‍යයන්ට අවශ්‍ය බාධාකාරී නොවූ මුහුදු මාර්ගගත භාණ්ඩ හා සේවා ප‍්‍රවාහන අවශ්‍යතාවයන්හිදීත් ශ‍්‍රී ලංකාවට ඉතාමත් වැදගත් කාර්යභාරයක් පැවරී තිබෙනවා. මෙම තත්වය පිළිබඳව කොවිඩ් 19 වසංගතය ආරම්භයේ සිටම පුළුල් අවධානයක් යොමුකරනු ලැබුවා. ආර්ථික විද්වතුන්ගේ වටිනා අදහස් හා උපදේශයන් සමග සියලූම වරායන් නොනවත්වා සිය මෙහෙයුම් කටයුතු කොවිඩ් 19 වසංගත තත්වය මධ්‍යයේම පවත්වාගෙන ගියා. ඒ අනුව, වරාය අංගනයන්හි සේවයේ නියුතු සියලූ අයවලූන්ගේ ආරක්‍ෂාව සදහා අවශ්‍ය සෞඛ්‍යාරක්‍ෂිත ක‍්‍රමවේද හදුන්වාදී මේ දක්වාම ශ‍්‍රී ලංකාවේ සියලූ වරායන් සාර්ථකව හා අඛණ්ඩව පවත්වාගෙන යාමට අපට හැකියාව ලැබුණා.

අපගේ ඉදිරි දැක්ම පිළිබඳව සාකච්ඡා කිරීමේදී කරුණු දෙකක් පිළිබඳව අවධානය යොමුකිරීමට මම කැමතියි. ඉන් පළමුවැන්න වන්නේ, මෙම ව්‍යසනයේදී ශ‍්‍රී ලංකාව විශේෂ වන්නේ මන්ද යන්නයි. දෙවනුව, පශ්චාත් ව්‍යසන කාලයේදී අප ඉදිරියේ ඇති අභියෝග කුමක්ද යන්නයි. ශ‍්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ වැදගත් මධ්‍යගත පිහිටීමක් සහිතව උපක‍්‍රමික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටා ඇති බව ප‍්‍රථමයෙන්ම අප තේරුම්ගත යුතුව තිබෙනවා. ඉන් අනතුරුව කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මුළු ලෝකයටම බලපෑම් සිදුවී ඇති අවස්ථාවක සෑම රාජ්‍යයක්ම නව උපක‍්‍රම, ව්‍යාපාර, කර්මාන්ත හා සේවා සපයන්නන් කෙරෙහි අවධානය යොමුකරමින් කොවිඩ් වසංගතයෙන් උගත් පාඩම්ද සමග තම ආර්ථීකයන් ගොඩනැංවීමට අවධානය යොමුකරමින් සිටින බව තේරුම්ගත යුතුව තිබෙනවා.  

ශ‍්‍රී ලංකාවේ උපාය මාර්ගික පිහිටීම පිළිබදව අප අවධානය යොමුකරන විට ශ‍්‍රී ලංකාවට මෙන්ම අපට සහාය දක්වන ලෝකයේ අනෙකුත් රාජ්‍යයන් වලටද අන්‍යෝන්‍ය වශයෙන් විවෘතව ඇති ප‍්‍රතිඵලදායී නව අවස්ථාවන් හදුනාගැනීමට හැකියාවක් තිබෙනවා. ශ‍්‍රී ලංකාව තුළ ආර්ථිකමය වශයෙන් සම්බන්ධතාවයන් ගොඩනැංවිය හැකි අවස්ථාවන් විශාල ප‍්‍රමාණයක් මේ වනවිට පවතින බව මගේ විශ්වාසයයි. එමනිසා, ලෝකයේ සිටින වෙළද ව්‍යපාරික ව්‍යවසායකයින් සමග සාර්ථක හා අන්‍යෝන්‍යප‍්‍රතිලාභ සහිත සබඳතා ගොඩනගාගැනීම අප ඉදිරියේ ඇති කාර්යභාරයයි.

ශ‍්‍රී ලංකාව ආයෝජන අවස්ථාවන් රාශියකින් සමන්විත රාජ්‍යයක් බව මම නැවතත් අවධාරණය කරන අතර, එමගින් සියලූ පාර්ශවයන්ට ආර්ථික සම්බන්ධතා වර්ධනය කරගැනීමටත්, විශ්වසනීය සහයෝගයක් පවත්වාගැනීමට සහ උපාය මාර්ගික ආර්ථික සබදතා වර්ධනය කිරීම තුළින් ප‍්‍රතිලාභ හිමිවන ආයෝජනයන් කෙරෙහි යොමුවීමටත් මම ආරාධනා කරනවා.

අවසාන වශයෙන්, මාගේ අදහස් ඔබ වෙත ඉදිරිපත් කිරීමට මා හට ආරාධනා කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙමින් ඔබ සියලූ දෙනාගේ අනාගත අපේක්‍ෂාවන් සාර්ථක වේවායි ප‍්‍රාර්ථනා කිරීමට කැමතියි.

ඔබ සැමට සුබ දවසක් !