Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2021 20:34:37 Hours

කොවිඩ් - 19 වෛරසයට එරෙහිව යුද්ධ හමුදාවේ සහ සෞඛ්‍ය සේවකයින්ගේ කාර්යභාරය රැසියානු තානාපතිගේ පැසසුමට

රුසියානු සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති යුරී බී මැට්රේ (Yury B. Materiy) මහතා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය සඳුදා (07) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී හමුවූයේය.

එහිදී, කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා යුද්ධ හමුදා භටපිරිස් කරනු ලබන සේවය රුසියානු ශ්‍රී ලංකා තානාපති විසින් ඇගයීමට ලක්කළ අතර මේ සඳහා දායක වී සිටින සියලුම කොටස්කරුවන්ගේ සේවය ද බොහෝ සෙයින් අගය කරන ලදී. යුරී බී මැට්රේ මහතා වර්ථමානයේ කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ සාකච්ඡා කළ අතර ශ්‍රී ලංකාවේ හා විදේශ රටවල වෛරසය ව්‍යාප්තිය පිළිබඳ සමාලෝචනයක නිරත වූහ.

මෙම අවස්ථාවේදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අදහස් දක්වමින් කොවිඩ්-19 වෛරසය පැතිරයාම වැළැක්වීම, නිරෝධායන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම, සංචරණ සීමා පැනවීම, ආසාදිතයින් හඳුනාගැනීම ඇතුලු කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරීම වැළැක්විම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් ප්‍රකාරව ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ රුසියානු තානාපති වෙත කරුණු පැහැදිලි කළේය. එමෙන්ම, දිවයින පුරා පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ දැනට ක්‍රියාත්මක වන එන්නත්කරණ ක්‍රියාවලිය රජයේ සැලැස්මකට අනුව ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බවත් වැඩිදුරටත් පැවසුවේය.

ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම හමුවේදී රුසියානු තානාපති වෙත සිය හෘදයාංගම ස්තූතිය පළකල අතර රුසියාව ශ්‍රී ලංකාව කෙරෙහි දක්වන මිත්‍රශීලීත්වය හා අන්‍යෝන්‍ය අවබෝධය වෙනුවෙන් රුසියානු ජනතාවටද සිය කෘතඥතාවය පළකරන ලදී.

සාකච්ඡාව අවසන්වීමට ප්‍රථම, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණීම වෙනුවෙන් රුසියානු තානාපති ඇතුලු පිරිසට ස්තූතිය හා සුභාශිංසනය පුදකළේය.

යුද්ධ හමුදා මූලස්ථානයට පැමිණි දූත පිරිසේ සිය ධූර කාලය නිමකොට ආපසු සිය රට බලා යාමට නියමිත හිටපු යුද්ධ, ගුවන් හා නාවික ආරක්‍ෂක උපදේශක කර්නල් ඩෙනිස් අයි. ෂකෝඩා (Colonel Mr Denis I. Shkoda) ද පැමිණ සිටියේය.

යුද සේවා ලේකම් මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රි විසින් යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණි රුසියානු තානාපති ඇතුලු පිරිස පිළිගෙන යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත කැඳවාගෙන යනු ලැබූවේය.