Header

Sri Lanka Army

Defender of the Nation

07th June 2021 12:59:37 Hours

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දෛනික මරණ සංඛ්‍යාව නොපමාව දැනුම්දීමේ හැකියාව පිළිබඳ සොයාබලයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (06) දින පැවති සාකච්ඡාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ඇතුලු සාමාජිකයින් සහභාගී වූහ. එහිදී, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම සඳහා ගනුලබන ඉදිරි ක්‍රියාමාර්ග සහ කොවිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් සිදුවන මරණ සංඛ්‍යාව හා සබැඳි නිවැරදි තොරතුරු ලබාගැනීම සඳහා ගතයුතු පියවරයන් පිළිබඳ ප්‍රධාන වශයෙන් සාකච්ඡා කළහ.

දැනට ලැබෙන වාර්ථා අනුව එදිනෙදා සිදුවන කොවිඩ් - 19 ආසාදිත මරණ සංඛ්‍යාව පිළිබඳ මහජනතාව දැනුවත් වීමට දින ගණනක් ගතවන බවත් එමඟින් මහජනයා තුළ ව්‍යාකූල තත්ත්වයක් ඇතිවන බවත් එය නිවැරදිව හා කඩිනමින් යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳවත් සාකච්ඡා කළහ. කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී පුද්ගලයෙකු මියගිය විට සහ වෙනත් රෝගයක් හේතුවෙන් මියයන පුද්ගලයින් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේදී PCR පරික්‍ෂණවල ප්‍රතිඵල ලබාදී මියයාමට හේතුව සනාථ කිරීමට දින ගණනාවක් ගතවීම තුලින් මහජනයා යම් ව්‍යාකූල තත්ත්වයකට පත්වන බවත් මෙහිදී සාකච්ඡා වූහ. පුද්ගලයෙකු මරණයට පත් වූ විට අවසන් කටයුතු පිළියෙල කිරීම හුදෙක් රෝගියා මියගිය හේතුව මත සිදුකරන නිසා කඩිනමින් එය ලබාදීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා කරන ලදී. මෙහිදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ මහජනයා ව්‍යාකූලත්වයට පත් නොවන පරිදි රෝගියාගේ මරණයට හේතුව කඩිනමින් ඔහුගේ පවුලේ සාමාජිකයින් වෙත දැන්විය යුතු බවයි.

මෙම කරුණු පිළිබඳව සෞඛ්‍ය අංශයේ බලධාරින් ගැඹුරින් සාකච්ඡා කළ අතර දෛනික මරණ සංඛ්‍යාව ජනතාවට දැනුම්දීමේදී ඇතිවන ප්‍රමාදය වළක්වාගැනීම උදෙසා ගතහැකි උපරිම ක්‍රියාමාර්ග කඩිනමින් ගැනීමට සහ එදිනෙදා ආසාදිතයින් සංඛ්‍යාව සමඟ මරණ සංඛ්‍යාවද නිසිලෙස ගණනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ඔවුහු සාකච්ඡා කළහ. මෙහිදී ඔවුහු මෙම මරණ පිළිබඳ නීතිමය පියවරයන් කිහිපයක්ද විසඳාගත යුතු බවත් ප්‍රමාදයකින් තොරව දත්ත ලබාදීමටත් ක්‍රියාදාමයක් ආරම්භ කරන බවත් පැවසූහ.