Header

Sri Lanka Army

Defender of the Nation

06th June 2021 15:34:25 Hours

“සංචරණ සීමා පැනවීම තුළින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබාගත හැකිවනුයේ මහජනතාව කල්පනාකාරීව කටයුතු කලොත් පමණක් බව” කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සිකුරාදා (04) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව සඳහා එම මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ අනෙකුත් පාර්ශවකරුවන් සහභාගී වූහ. මෙහිදී, කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා මේ වනවිට ගෙන ඇති පියවර ඇතුලු කරුණු රැසක් පිළිබඳ සාකච්ඡා කරන ලදී.

මෙහිදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිය අදහස් දක්වමින් දිනකට ආසාදිතයින් 3000 ක් පමණ වාර්තා වන බවත් ඉන් ආසාදිතයින් බහුතරය නිරෝධායන මධ්‍යස්ථාන වලින් හඳුනාගත් අයවලුන් බවත් ප්‍රකාශ කළේය. එමෙන්ම, නව ප්‍රභේද රට තුලින් හඳුනාගැනීම සහ සමාජය තුල සම්ප්‍රේශණය වීම පිළිබඳවද යුද්ධ හමුදාධිපතිතුමන් කරුණු දැක්වූයේය.

දැනට ක්‍රමවේදයකට අනුව සිදුකරනු ලබන PCR පරික්‍ෂණවල අවශ්‍යතාවය හා එමඟින් අදාළ අංශවල නිලධාරින්ට නිරෝධායන ක්‍රියාවලිය තවදුරටත් සාර්ථකව සිදුකිරීමට හා රෝගීන් කල්තියා හඳුනාගැනීම රෝගය ව්‍යාප්ත වීම මැඩපැවැත්වීමට උපකාරි වන බවත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි වැඩිදුරටත් පැවසුවේය.

සංචරණ සීමා පැනවීම මඟින් මහජනතාවට සිදුවන අපහසුතාවයන් පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතිගරු ජනාධිපතිතුමන්, වෛද්‍ය විශේෂඥයින් හා අනෙකුත් බලධාරින් සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර සංචරණ සීමා පැනවීම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණ ප්‍රතිඵලදායක වීම සඳහා සෞඛ්‍ය බලධාරින් විසින් හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ මහජනතාව මැනවින් පිළිපැදිය යුතු බව ද ප්‍රකාශ කරන ලදී.  

ජංගම රථ හා ජංගම වෙළඳසැල් මාර්ගයෙන් මහජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, වියළි සලාක ආදිය බෙදාහැරීම අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ආරම්භ කරන ලද අතර එමඟින් කුඩා ප්‍රමාණයේ ව්‍යාපාරිකයින්ට හා නිෂ්පාදකයින්ට මෙවන් දුෂ්කර කාලයකදී ඔවුන්ගේ ජීවනෝපාය පවත්වාගෙන යාමට හැකි වී ඇති බවත් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය. රජය විසින් දිස්ත්‍රික් ලේකම් හරහා කරන ලද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේ යාන්ත්‍රණය සාර්ථකව ඉටුවන බවත් මාර්ග බාධක වලදී ද ඔවුන්ට බාධාවකින් තොරව ගමන් කිරීමට පහසුකම් සපයා ඇති බවත් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එන්නත්කරණ වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි දැනට දිස්ත්‍රික් 9 ක එන්නත්කරණ කටයුතු සිදුකරමින් පවතින අතර අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් මත වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් සඳහා එන්නත්කරණයේදී ප්‍රමුඛතාවය දීමට හා Sinopharm එන්නත ජුනි මස 08 දින සිට දිස්ත්‍රික්ක 12 ක මෙම වැඩසටහන සිදුකිරීමට නියමිත බවත් පැවසුවේය. ගර්භනී මාතාවන්, සෞඛ්‍ය අංශයේ නිලධාරින් සහ රජයේ නිලධාරින්ට ප්‍රමුඛත්වය මත එන්නත් ලබාදෙනු ලබයි. Sinopharm එන්නත් මිලියන 02 ක් ජුනි මස 06 සහ 09 දෙදින තුළ ලැබීමට නියමිත බවත් වැඩිදුරටත් සාකච්ඡා වූහ. සෞඛ්‍ය අංශ නිලධාරින්, විශ්වවිද්‍යාල ප්‍රධානින්, ආර්ථික විශේෂඥයින්, ඇනවුම් ක්ෂේත්‍රයේ ප්‍රධාන නියෝජිතයින්, නිදහස් වෙළඳ කලාප නිලධාරින්, වැවිලි ක්ෂේත්‍රයේ නිලධාරින්, අධ්‍යාපන, උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින්, පුද්ගලික බැංකු ක්ෂේත්‍රයේ හා පොදු ප්‍රවාහන අංශයේ නිලධාරින් සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ ක්ෂේත්‍රවල ඇති අවශ්‍යතා අනුව ඉදිරි සැලසුම් සකස්කරන බවත් මෙහිදී සාකච්ඡා වූහ.

විදේශ රටවල සිට දෛනිකව පුද්ගලයින් 1000 ක් පමණ පැමිණෙන අතර සිකුරාදා (04) දින මැදපෙරදිග රටවල් හැරුණුකොට ගුවන් වාර 18 ක් ක්‍රියාත්මක වන බවත් සාකච්ඡා වූහ. මේ වනවිට ජපානය, තුර්කිය, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල සිට පුද්ගලයින් පැමිණුන අතර ඔවුන් අනිවාර්යෙන්ම දින 14 ක් නිරෝධායනයට ලක්කරන බවත් මෙහිදී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරන ලදී.

මීට අමතරව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සිය අදහස් දක්වමින් දැනට නගරයට පැමිණෙන වාහන පරික්‍ෂා කරන අතර එම වාහන තුළ ස්ටිකරයක් අලවා ඔවුන් දෙවන වරට පරික්‍ෂා කිරීම මඟින් සිදුවන අවහිරතා ඉන් වළක්වන බවත් දැනට නගරය තුළට ඇතුලුවන්නන් පිළිබඳව සමීක්‍ෂණයක් සිදුකරමින් පවතින බවත් සඳහන් කරන ලදී. මෙම සාකච්ඡාව සඳහා පැමිණ සිටි අනෙකුත් පාර්ශවකරුවන්ද මෙහිදී අදහස් දක්වන ලදී.