Header

Sri Lanka Army

Defender of the Nation

02nd June 2021 22:09:59 Hours

වෙසක් උත්සවය වෙනුවෙන් 54 වන සේනාංකයෙන් ආගමික කටයුතු රැසක්

වෙසක් පුර පසලොස්වක පොහොය නිමිත්තෙන් 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ගේ මඟපෙන්වීම යටතේ මන්නාරමේ පිහිටි ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 54 වන සේනාංකයට අනියුක්තව සේවයේ නියුතු භටපිරිස් 2021 මැයි මස 26 සහ 27 දිනවල ආගමික කටයුතු කිහිපයකට සම්බන්ධ වූහ.

ඒ අනුව, 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පැවති පුණ්‍ය උත්සවයකදී අලුතින් ඉදිකරනු ලැබූ මන්නාරම, කොන්ඩච්චි ‘ශ්‍රී විජයතිලකාරාමයේ’ ධාතු මන්දීරය, ඇත් පවුර බෝධි ප්‍රාකාරය, ඝණ්ඨාර කුළුණ, ධර්ම ශාලාව සහ සංඝාවාසය මහා සංඝරත්නය වෙත පූජා කළේය. මෙම උත්සවයේදී, එම විහාරස්ථානයේ ඉදිකරනු ලැබූ දාගැබ තුළ සර්වඥ ධාතූන් තැන්පත් කිරීම ද සිදුකරන ලදී.

මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය අරමුදල්, 542 වන බලසේනාවේ බලසේනාධිපති ඇතුලු පවුලේ සාමාජිකයින් විසින් සපයනු ලැබූ අතර එම බලසේනාවේ භටපිරිස් සිය ශ්‍රම දායකත්වයෙන් විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සිදුකළහ.

එමෙන්ම, 2021 මැයි මස 27 දින තල්අඩි ප්‍රදේශයේ පිහිටි 54 වන සේනාංක මූලස්ථානයේ පිහිටි මනූ වෙහෙරේ අලුතින් ඉදිකරන ලද වලාකුළු බැම්ම සහ රන් වැට ද විවෘත කරන ලදී. ඊට අමතරව, සර්වඥ ධාතු මනු වෙහෙර තුළ තැන්පත් කිරීම ද මෙහිදී සිදුකළේය.

මෙම විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය තල්අඩි කඳවුරේ සේවයේ නියුතු සියලු නිලයන් විසින් දරනු ලැබූහ. 

කඳවුර තුළ හා ඒ අවට ප්‍රදර්ශනය කර ඇති 1000 ක් පමණ වෙසක් පහන් කූඩු සහ ගිමන්හල් සංකීර්ණය අසල ප්‍රදර්ශනය කරනු ලැබූ කැරකෙන කූඩුව මෙම පුණ්‍ය උත්සවය වර්ණවත් කරන ලදී.

54 වන සේනාංකය යටතේ සේවයේ නියුතු සෙබලුන්ගේ අවම සහභාගිත්වයකින් කොවිඩ් - 19 මාර්ගෝපදේශයන්ට අනුකූලව මෙම කටයුතු සිදුකරනු ලැබූහ.