03rd June 2021 13:53:09 Hours
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හොලී (David Holly) බ්‍රහස්පතින්දා (03) දින ශ්‍රී ජයවර්ධනපුර පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයේදී කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවූයේය. මෙම හමුවේදී, පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සිදුකරනු ලබන කැපවීම අගයකරමින් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ සෞඛ්‍ය අංශයේ නිලධාරින්ගේ ප්‍රයෝජනය සඳහා පුද්ගලික ආරක්‍ෂක උපකරණ තොගයක් පරිත්‍යාග කළේය.
මෙම පුද්ගලික ආරක්‍ෂක උපකරණ තොගය මයික්‍රොගාඩ් ආරක්‍ෂිත ඇඳුම් කට්ටල16,500 ක්, මුඛ ආවරණ 25,000 ක්, අත් ආවරණ 100,000 ක්, පුද්ගලික ඇස් ආවරණ175 ක් සහ ලීටර් 25 ඖෂධ ගබඩා කළහැකි සිසිලන පෙට්ටි 15 කින් සමන්විත වේ. මෙම පරිත්‍යාගය කොවිඩ් - 19 වසංගතය හමුවේ ඉදිරිපෙළ කටයුතු කරන සෞඛ්‍ය සේවකයින් වෙත ලබාදීමේ අරමුණින් සිදුකරන ලදී.
මෙම හමුව රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් සිදුකරන ලදී. ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින කොවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ යුද්ධ හමුදා භටපිරිස් විසින් සිදුකරන අඛණ්ඩ කාර්යභාරය සම්බන්ධයෙන් ඕසට්‍රේලියානු නියෝජිත පිරිස විසින් ඇගයීමට ලක්කළහ.
මෙම හමුවේදී, ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කොවිඩ් - 19 වසංගතය හමුවේ කැපවීමෙන් ක්‍රියා කරන යුද්ධ හමුදා භටපිරිස් සහ අනෙකුත් සියලුම පාර්ශවකරුවන් පැසසුමට ලක් කළේය. මෙහිදී, යුද්ධ හමුදාධිපතිතුමන් සිය අදහස් දක්වමින් පවතින වර්තමාන තත්ත්වය හමුවේ කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග, නිරෝධායන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම, සංචරණ සීමා පැනවීම, නව ආසාදිතයින් හඳුනාගැනීම වැනි කරුණු පිළිබඳව පැහැදිලි කළේය. එමෙන්ම,කොවිඩ් - 19 වසංගතය හමුවේ රට ආරක්‍ෂා කරගැනීම සඳහා වෛද්‍ය නිලධාරින් සහ හෙදියන් ඇතුලු පළමු පෙළ සෞඛ්‍ය අංශ හා ආරක්‍ෂක අංශ සාමාජිකයින් දරණ ප්‍රයත්නය පිළිබඳව ද සිය ප්‍රශංසාව පළ කළේය.
මෙම සුහද හමුව අවසානයේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් වෙත සමරු තිළියක් පිරිනැමූ අතර සිය සුබපැතුම් ද පිරිනැමුවේය.
යුද්ධ හමුදා මූලස්ථානය වෙත පැමිණි මෙම නියෝජිත පිරිස හමුදා ලේකම් මේජර් ජෙනරල් අජිත් කොළඹතන්ත්‍රි විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය. මෙම සංචාරය සඳහා ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ උප තානාපති ඇතුලු පිරිසක් ද සහභාගී වූහ.