27th May 2021 22:15:35 Hours
අලෙවිකරණ සන්නිවේදනය පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ සම්පත් දායකයෙක් ලෙස කටයුතු කරන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය බ්‍රහස්පතින්දා (27) දින සාමය සහ සංවර්ධනය පිළිබඳ වූ යුරෝපියානු මධ්‍යස්ථානය (European Centre for Peace and Development UN University for Peace) මගින් සංවිධානය කරන ලද සමුළුවක් සඳහා zoom ඔස්සේ සහභාගි වූයේය.
මෙම සමුළුවේදී වර්තමාන කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ මුහුණ පෑමට සිදුවී ඇති විශාල අභියෝග සහ ගැටලු හේතුවෙන් අලවිකරණ කටයුතු සහ සන්නිවේදන කටයුතු සාර්ථක අන්දමින් සිදුකරගන්නා ආකාරය පිළිබඳ සාකච්ඡා කරන ලදී.
කොවිඩ්-19 වැනි වසංගත තත්ත්වයක් පවතින කාල වකවානුවක් තුළ මහජනතාව තුළ පවතින සෘණාත්මක ආකල්ප සහ මාධ්‍ය වල පවතින ගැටලු රැසක් පිළිබඳ එහිදී යුද්ධ හමුදාධිපතිතුමන් සාකච්ඡා කරන ලදී. තවද සදාචාරාත්මක සහ විශ්වාසවන්ත මාධ්‍ය ප්‍රවේශයක් සෑම රටකටම තිබීමේ වැදගත්කම පිළිබඳව ද කරුණු අවධාරණය කරන ලදී. එමෙන්ම මාධ්‍ය යනු යහපත් සහ අයහපත් හෝ ධනාත්මක මෙන්ම ඍණාත්මක ලෙස පාවිච්චි කළ හැකි ආයුධයක් බැවින් එහි නිසි හැසිරවීම පිලිබද සොයා බලා කටයුතු කිරීමේ වැදගත්කම එතුමන් විසින් සාකච්ඡා කළේය. යම් ආකාරයකින් මාධ්‍ය සෘණාත්මක අන්දමින් පාවිච්චි කළහොත් එමගින් සිදුවිය හැකි මානසික සහ භෞතික හානිය පිළිබඳව ද අවධාරණය කළේය.
තවද කොවිඩ්-19 වෛරසය ගෝලීය අර්බුදයක් වශයෙන් පැන නැගී ඇති මෙම කාල වකවානුව තුළ සියලුම මාධ්‍යයන් විසින් එක්ව මහජනතාවගේ පොදු මතය සහ සෘණාත්මක ආකල්ප පාලනය කරමින් ජනතාව ධනාත්මක ප්‍රවේශයන්ට යොමු කරවීම මාධ්‍ය තුළින් සිදුවිය යුතු ප්‍රධානම වගකීම ලෙස අවධාරණය කරන ලදී. එම නිසා මෙවැනි තත්ත්වයක් තුළ මාධ්‍ය වෙත ලැබෙන සියලුම තොරතුරු මහජනතාව නොමග යන අයුරින් හෝ අසාධාරණයක් සිදුවන අයුරින් ලබා නොදීමට වගකිවයුතු පාර්ශවයන් විසින් කටයුතු කළ යුතු බවද විශේෂයෙන් ප්‍රකාශ කරන ලදී.
මෙම සම්මේලනය තුළින් විශාල වශයෙන් කොවිඩ් වසංගත තත්ත්වයක් තුළ ප්‍රචාරණ කටයුතු සහ සන්නිවේදන කටයුතු සිදුවිය යුතු ආකාරයත්, මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සදහා සමාජ ජාලා විසින් සිදු විය යුතු කාර්යභාරය, කොවිඩ්-19 වෙරසය මැඩ පැවැත්වීම සඳහා එන්නත්කරනය පිළිබඳ සිදුකරන අසත්‍ය ප්‍රචාරණ මැඩපැවැත්වීම, කොවිඩි-19 වසංගතය හමුවේ තවදුරටත් සන්නිවේදන උපාය මාර්ග සහ ඒවා කරා ළඟා වීමේ නිවැරදි පිළිවෙත් අනුගමනය කිරීමත්, විශේෂයෙන්ම එන්නත්කරණ පිළිබඳ සමාජ ජාලා තුළ සහ සාම්ප්‍රදායික මාධ්‍ය තුළ පැන නැගී ඇති අසත්‍ය ප්‍රචාර යන කරුණු ඔස්සේ එම සම්මේලනයට සහභාගි වූ ජාත්‍යන්තර විද්වත් මඩුල්ල සමග සාකච්ඡා කරන ලදී.
මෙම සමුළුව සඳහා ප්‍රචාරණය පිළිබඳ ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට රුසියානු කථිකාචාර්යවරුන්ද, සන්නිවේදන අංශයේ මහාචාර්යවරුන් වන ඉතාලියේ ජාත්‍යන්තර කටයුතු අධ්‍යක්ෂ වෛද්‍ය මහාචාර්ය ලූකා රෝසි (Prof. Dr. Luca Rosi), අල්ටයි ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ සහ සොෆියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්ටෝ කෆ්තාන්ඩ්ජිව් (Prof. Christo Kaftandjiev), බෙල්ග්‍රේඩ් විශ්වවිද්‍යාලය මහාචාර්ය සිනාෂා සාරික් (Prof. Siniša Zarić), ඉතාලියේ රෝමයේ ඊසීපීඩී ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යක්ෂ ආචාර්ය රොබර්ටෝ සැවියෝ (Dr. Roberto Savio), ඊසීපීඩී එක්සත් ජාතීන්ගේ සාමය පිළිබඳ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය මයෝඩ්‍රැග් ඉවානොවික් (Prof. Dr. Miodrag Ivanović), නිපුණතා මධ්‍යස්ථානයේ සහ ජර්මනියේ ව්‍යවහාරික විද්‍යා විශ්වවිද්‍යාලය අධ්‍යක්ෂ මහාචාර්ය වෛද්‍ය තෝමස් ලක්ස් (Prof. Dr. Thomas Lux), රුසියාවේ උතුරු කොකේසස් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්වෙට්ලානා සාන්චෙන්කෝ (Prof. Svetlana Zеnchenko), ග්‍රීසියේ හෙලනික් මහජන සෞඛ්‍ය පාසලේ ආරම්භක පීඨාධිපති වෛද්‍ය ජෙෆ්රි ලෙවට් (Prof. Dr. Jeffrey Levett), ජර්මනියේ බර්ලින් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය ආර්ථික හා සෞඛ්‍ය කළමනාකරණ සභාපති වෛද්‍ය ක්ලවුස්-ඩර්ක් හෙන්කේ (Prof. Dr. Klaus-Dirk Henke), ඊසීපීඩී එක්සත් ජාතීන්ගේ සාම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය මයෝඩ්‍රැග් ටොඩොරොවික් (Prof. Dr. Miodrag Todorović), සීෂෙල්ස් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ සහ බෙල්ග්‍රේඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය ස්නෙෂනා රාකික් Prof. Dr. Snežana Rakić. යන විද්වතුන් සහභාගී වූහ.
සමුළුවේ සම සභාපතිවරුන් ලෙස ග්‍රීසියේ හෙලනික් මහජන සෞඛ්‍ය පාසලේ ආරම්භක පීඨාධිපති වෛද්‍ය ජෙෆ්රි ලෙවට් (Prof. Dr. Jeffrey Levett), අල්ටයි ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ සහ සොෆියා විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්ටෝ කෆ්තාන්ඩ්ජිව් (Prof. Christo Kaftandjiev), බෙල්ග්‍රේඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය ස්නෙෂනා රාකික් Prof. Dr. Snežana Rakić, රුසියාවේ උතුරු කොකේසස් රාජ්‍ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්වෙට්ලානා සාන්චෙන්කෝ (Prof. Svetlana Zеnchenko) කටයතු කළහ.