Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2021 15:35:31 Hours

මාතෘ හා ළමා සෞඛ්‍ය විශේෂඥයින් යුද්ධ හමුදාව විසින් සීදුවේ ස්ථාපිත කරන ලද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මාතෘ හා ළමා ඒකකයක් ස්ථාපනය කිරීමට අවැසි අවශ්‍යතාවයන් නිරීක්‍ෂණය කරයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් සීදුවේ ඉදිකළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදි කිරීමට නියමිත මාතෘ සහ ළමා ඒකකයේ පහසුකම් සහ එහි අවශ්‍යතා පිළිබඳව අධ්‍යනය කිරීම සඳහා පසුගිය අඟහරුවාදා (25) දින සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය එච්. එස්. ආර්. පෙරේරා මහත්මිය ප්‍රමුඛ මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය විශේෂඥයන් කණ්ඩායමක් එහි නිරීක්‍ෂණ චාරීකාවක නිරත වූහ.

රෝහල් පරිශ්‍රය වෙත සපැමිණි පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චිත්‍රාමලි ද සිල්වා මහත්මිය, ළමා වෛද්‍ය විශේෂඥයින් වන වෛද්‍ය මහාචාර්ය සමන්ත රජින්ද්‍රජිත් මහතා, වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සනත් ලැන්රෝල් මහතා ඇතුලු විශේෂඥ වෛද්‍ය කණ්ඩායම යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය සුජීවා නෙල්සන් මහත්මිය, විසින් උණුසුම් අයුරින් පිලිගනු ලැබිණි. අතිගරු ජනාධිපතිතුමන් විසින් පසුගිය සදුදා (24) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලබාදුන් උපදෙස් මත මාතෘ හා ළමා රෝගීන්ට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ප්‍රතිකාර සහ පහසුකම් සැපයීම සඳහා මෙම ‍අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ විශේෂ ඒකකයක් ස්ථාපනය කිරීමට ඇති හැකියාව පිළිබද එම විශේෂඥ වෛද්‍ය කණ්ඩායම සොයා බලන ලදී.

යුද්ධ හමුදාව විසින් ඇදන් 1200 කින් සමන්විතව ඉදිකරනු ලැබු මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තුළ මාතෘ සහ ළමා රෝගීන් සඳහා විශේෂත්වයක් දක්වමින් දැඩි සත්කාර ඒකකයක් සමගින් ඔවුන්ට අවශ්‍ය සියලුම වෛද්‍ය උපාංග සහිත වාට්ටුවක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් වෙන් කිරීමට නියමිත බව පැවසු ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මෙම විශාලතම අතරමැදි මධ්‍යස්ථානය ස්ථාපිත කිරීම සඳහා සීමාසහිත බ්‍රැන්ඩික්ස් ග්‍රීන් ප්ලාන්ට් සමාගම දැක්වූ ත්‍යාගශීලීත්වය වෙනුවෙන් සිය කෘතඥතාවය පල කළේය.

මෙම අවස්ථාව සඳහා ප්‍රාථමික සෞඛ්‍ය සේවා සහ වසංගත වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ද සහභාගී වූ අතර යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජිවා නෙල්සන් මහත්මිය විසින් අමාත්‍යතුමිය පිළිගන්නා ලදී.

රෝහල් පරිශ්‍රයේ සංචාරය අතරතුර දී මෙම විශේෂඥ වෛද්‍යවරුන් පිරිස විසින් රෝහලේ අවශ්‍යතා පිළිබඳව සාකච්ඡා කරන ලද අතර, වෛද්‍යවරුන් හෙදියන් සහ අනෙකුත් වෛද්‍ය අවශ්‍යතා සඳහා නියමිත වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවට ද එහිදි සාකච්ඡා කරන ලදී.

මෙම අවස්ථාව සඳහා 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා, 144 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජේතුංග, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරි බ්‍රිගේඩියර් තුෂාර බාලසූරිය, සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් යොහාන් ප්‍රනාන්දු ඇතුළු තවත් නිලධාරීන් රැසක් සහභාගි වූහ.