Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2021 15:22:21 Hours

ගින්නෙන් හානියට පත්වූ 'X-press Pearl' නෞකාවේ සුන්බුන් හේතුවෙන් හානියට පත් වෙරළ පිරිසිදු කිරීම සඳහාත් සුන්බුන් එකතු කිරීමට පැමිණෙන පුද්ගලයින් විසුරුවා හැරීම සඳහාත් යුද්ධ හමුදා භටපිරිස් යොදවයි

හානියට පත්වූ 'X-press Pearl' නෞකාවෙන් වෙරළ තීරයට ඇදී එන සුන්බුන්, පාවෙන භාණ්ඩ සහ ද්‍රව්‍ය එක්රැස් කිරීමට වෙරළට පැමිණෙන මහජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම සඳහාත් වෙරළට පාවී එන අපද්‍රව්‍ය ඉවත්කර වෙරළ පිරිසිදු කිරීමේ කටයුතු සඳහාත් යුද්ධ හමුදා භටයින් 300 කින්, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඩ්‍රෝන ඒකකයේ ඩ්‍රෝන කණ්ඩායමකින් හා බෝම්බ නිෂ්ක්‍රීය කණ්ඩායමකින් සමන්විත යුද්ධ හමුදා ක්‍ෂණික විහිදුම් කණ්ඩායමක් මීගමුවේ පෝරුතොට වෙරළ තීරයේ සිට කිලෝමීටර් 6ක් පමණ වෙරළ තීරය ඔස්සේ යෙදවීමට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා උපදෙස් ලබා දුන්නේය.

නෞකාවේ ගබඩා කර තිබූ රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් ගිනි ගැනීම නිසා මෙරට වයඹ වෙරල තීරයට ගොඩගසන සුන්බුන් එකතුකිරීම කිරීම සඳහා මහජනතාව සංචරණ සීමා පවා නොසලකිමින් පැමිණිම නිසා ගැටළු රැසක් ඇති වීමේ ප්‍රවණතාවක් ඇතිවිය. එලෙස වෙරළට ඇදී එන අපද්‍රව්‍ය සහ සුන්බුන් විෂ සහිත සහ මිනිස් පරිභෝජනයට නුසුදුසු වුවත් මහජනතාව ඒවා රැගෙන යන බැවින් එය වැළැක්වීම සඳහා පොලීසිය යුද්ධ හමුදා මූලස්ථානය වෙතින් අතිරේක භටපිරිස් සහය ඉල්ලුම් කරන ලදී. ඒ අනුව පොලීසය විසින් සිදුකළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් මේ සඳහා කඩිනමින් අතිරේක භටපිරිස් යොදවා පොලීසියට සහය ලබාදෙන දෙන ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ වෙත උපදෙස් ලබාදුන්නේය.

ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා නයිට්‍රික් අම්ල ටොන් 25 ක් රැගත් සිංගප්පූරු බහාලුම් නෞකාව 2021 මැයි 25 වන දින ගිනිගැනීම හේතුවෙන් කොළඹ වරායට උතුරු දෙසට වන්නට ශ්‍රී ලංකා මුහුදු කලාපයේ නැංගුරන් ලා තිබියදි ඇතිවූ ගින්න නිවා දැමීම සඳහා එහි කාර්යය මණ්ඩලය සහ වරාය අධිකාරිය වෙතින් ගත් සියලු ප්‍රයත්නයන් ව්‍යාර්ත විය. එහිදි එම නෞකාවේ කාර්යය මණඩලයේ දෙදෙනෙකු සුලු තුවාල ලබා ඇති අතර සෙසු පිරිස ශ්‍රී ලංකා ජීවිත ආරක්‍ෂක කණ්ඩායම් මගින් මුදවා ගන්නා ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් විකුම් ලියනගේ, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සූජීව සෙනරත්යාපා, 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජේතුංග සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අධීක්‍ෂණය යටතේ බ්‍රහස්පතින්දා (27) උදෑසන මෙම ක්‍රියාන්විතය සිදුකරන ලදී.