Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2021 16:20:01 Hours

වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 වර්ධනය මැඩපැවැත්වීම සඳහා සාකච්ඡාවක්

වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ සමස්ත සම්බන්ධීකරණ නිලධාරි වන වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් හේමන්ත බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් එස්. එම්. සමන් බන්දුලසේන, වවුනියාව නියෝජ්‍ය පොලිස්පති සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ ෂමෙන්ම රජයේ නිලධාරීන් පිරිසකගේ සහභාගීත්වයෙන් සම්බන්ධීකරණ සාකච්ඡාවක් පසුගිය සෙනසුරාදා (21) දින වවුනියාව දිස්ත්‍රික් මහලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.

වවුනියාව දිස්ත්‍රික්කයේ කොවිඩ්-19 වසංගතය වේගයෙන් පැතිරීම පාලනය කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.ප්‍රාදේශීය සෞඛ්‍ය සේවාඅධ්‍යක්‍ෂ කාර්යාලයේ නියෝජිත වෛද්‍ය ඒ. ලවන් මහතා විසින් මහජනතාව අතර කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමේ වැදගත්කම පිළිබඳකරුණු අවධාරනය කළේය.

ඉන් අනතුරුව සියලුම මහජනතාවට සමුපකාර මගින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඛණ්ඩව බෙදා හැරීම සහ ගොවීන්ට ඔවුන්ගේ ගොවිතැන්කටයුතු සාර්ථකව කරගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිළිබඳව අවධානය යොමු කරමින් පවත්නා තත්ත්වය සහ ඔවුන්ගේ වගකීම් පිළිබඳව සාකච්ඡා කළහ. තවද, කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින්ගේ පළමු ආශ්‍රිතයින් හඳුනා ගැනීමෙන් පැතිරීම වැළැක්වීම සහ පාලනය කිරීමේ හැකියාව පිළිබඳව තවදුරටත් සාකච්ඡාවේදී අවධානය යොමු විය.