Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2021 22:16:42 Hours

මාතෘ හා ළමා සෞඛ්‍ය විශේෂඥයින් සීදුවේ ස්ථාපිත කරන ලද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ මාතෘ හා ළමා ඒකකයේ පහසුකම් පිළිබඳව සාකච්ඡා කරයි

මාතෘ හා ළමා සෞඛ්‍ය පිළිබඳ විශේෂඥයින් වන සෞඛ්‍ය නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය එච්.එස්.ආර් පෙරේරා මහත්මිය, පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය චිත්‍රාමලි ද සිල්වා මහත්මිය, ළමා වෛද්‍ය විශේෂඥයින් වන වෛද්‍ය මහාචාර්ය සමන්ත රජින්ද්‍රජිත් මහතා, වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා සහ ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සනත් ලැන්රෝල් මහතා ඇතුලු පිරිස ඉකුත් සදුදා (24) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. එහිදි යුද්ධ හමුදාව විසින් සීදුව ප්‍රදේශයේ ස්ථාපිත කරනු ලැබු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෛරසය ආසාදිත මාතෘ හා ළමා රෝගීන් සඳහා ඇති පහසුකම් පිළිබඳ කරුණු සාකච්ඡා කළේය.

වෙනත් රටවල් සමඟ සසඳා බලන විට මෙරට කොවිඩ්-19 මරණ අනුපාතය අවම මට්ටමක පවතින බව ප්‍රකාශ කළ ඔවුන් ඒ සඳහා ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සිදුකරමින් සිටින මෙහෙය අගය කළහ. තවද වෛද්‍ය වෘතිකයින් ළමා හා ගර්භනීය සෞඛ්‍ය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කිරීම හේතුවෙන් විවිධ පළාත්වල කුඩා ළමුන්ට වෛරසය ආසාදනය වීම අවම මට්ටමක පවතින බවත් එම තත්ත්වය ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බව අතිගරු ජානාධිපතිතුමන් අදාළ අංශ වෙත උපදෙස් ලබදී ඇති බවත් සඳහන් කළේය.

එම සාකච්ඡාවේදී අදහස් දැක්වූ ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසූවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම සහ උපදෙස්වලට අනුව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සමඟ සම්බන්ධතාවයෙන් ඇදන් 1200 ක සියලු පහසුකම්වලින් සමන්විතව ස්ථාපිත කරනු ලබු සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර අංශයක්, රෝගී හුදෙකලා අංශයක්, දැඩිසත්කාර ඒකකයක්, ඖෂධ හලක් ඇතුලු අත්‍යවශ්‍ය අංගයන්ගෙන් සමන්විතව ඇති බවය. එසේම අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත මාතෘ හා ළමා රෝගීන්ට ප්‍රමුඛත්වයක් මත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර සහ පහසුකම් ලබාදීමට සූදානම් බවත් එතුමන් පැවසීය.

මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන රෝහල තුළ මාතෘ හා ළමා විශේෂඥයින්, මවුවරුන් සහ ළමුන් වෙනුවෙන් අරමුදලක් පිහිටුවීම පිළිබඳව සහ සංචරණ සීමාව කාලය තුළ ළමුන්ට මෙන්ම කාන්තාවන් සඳහා දැනුම ලබාදීමේ අරමුණින් අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම පිළිබඳව ද මෙහිදි කරුණු සාකච්ඡා කළේය.

සීදුව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ රෝගින් සඳහා ප්‍රතිකාර කිරීම පිළිබද එළබෙන බදාදා (25) දින සෞඛ්‍ය අංශයේ බලධාරීන් සමග සාකච්ඡාවක් පවත්වා තීරණය කිරීමට නියමිතව ඇත. කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි සිදුකරනු ලබන කැපකිරීම අගය කරමින් ඉදිරියටත් එලෙසින් සහය දක්වන ලෙස සෞඛ්‍ය විශේෂඥයින් යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් ලෙස ඉල්ලා සිටියේය.