Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2021 14:35:01 Hours

කොවිඩ්-19 වෛරසය පැතිරීම අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබද යුද්ධ හමුදාධිපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කිරීමේ වැඩපිළිවෙළ පිළිබඳව පැන නැගී ඇති ගැටලු සාකච්ඡා කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් ඉකුත් සදුදා (24) දින රාජගිරියේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ දී පැවැත්විණි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ජාතික බෝවන රෝග පිළිබඳ ආයතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජයවික්‍රම, කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාපීඨයේ මහාචාර්ය මංජු වීරසිංහ, කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකාරක බ්‍රිගේඩියර් චන්දන අරංගල්ල සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය සේවා අධ්‍යක්‍ෂ කර්නල් සවීන් සේමගේ යන නිලධාරීන් සහභාගි වූහ.

මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන් විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ අනෙකුත් වෛද්‍ය නිලධාරීන් අතර මනා සන්නිවේදනයක් පවත්වාගැනීමට කටයුතු කළ යුතු බවත් ඔවුන් සහ සෞඛ්‍ය අමාත්‍යංශය අතර සම්බන්ධීකරණ කටයුතු පහළ මට්ටමක පවතී නම් ඒ සඳහා අදාල බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු සංවිධානය කළ යුතු බවත් ඒ සඳහා සියලු තොරතුරු තාක්ෂණ පහසුකම් සහ දුරකථන පහසුකම් අදාළ බලධාරීන් වෙත ප්‍රමාදයකින් තොරව සැපයිය යුතු බවත් විශේෂයෙන් සඳහන් කළේය.

තවද තාක්ෂණික පහසුකම් ප්‍රමාදයකින් තොරව සැපයීමත් යාවත්කාලීන තොරතුරු ලබා දීමත් පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ විශේෂ අවධානයට යොමු විය. එමෙන්ම වෛද්‍ය නිලධාරීන් සෞඛ්‍ය කාර්යාංශය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල මහජන කාර්යාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අතර සිදුවන සන්නිවේදන ප්‍රමාද දෝෂ පිළිබඳව සහ ඒවා මඟහැර ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කරුණු සාකච්ඡා කරන ලදී. යම් අවස්ථාවල නිවෙස් වල සියලුම සාමාජිකයන් ආසාදිත වීම සහ අනෙකුත් නීතිමය ගැටලු ආසාදිත රෝගීන් සදහා ප්‍රතිකාර කිරීම, මරණ වාර්තා වීම පිළිබඳ සිදුවන ප්‍රමාදයන් අවම කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ කරුණු සාකච්ඡා කරන ලදී. එමෙන්ම කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සමග ඒකාබද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත අදාළ තොරතුරු ලබා දීම පිළිබඳ ද මෙහි දී කරුණු සාකච්ඡා කරන ලදී.

දැනට පවත්නා මෙම තත්ත්වය හැකි ඉක්මනින් විසඳීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ සන්නිවේදන අවශ්‍යතා සපයමින් ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවට සාකච්ඡාව සඳහා රැස්වූ සියලු දෙනා විසින් යුද්ධ හමුදාධිපති තුමන් වෙත කරුණු ඉදිරිපත් කළහ. එමෙන්ම ඔවුන් විසින් වර්තමාන වසංගත තත්ත්වය පිළිබඳ, සංචාරන සීමාවන්, දිනෙන් දින ඉහළ යන ආසාදිත රෝගීන් ප්‍රමාණයත්, ඉදිරියේ දී මුහුණ දිමට සිදුවන අභියෝග සහ මාර්ගෝපදේශයන් පිළිබඳව විශේෂයෙන් කරුණු අවධානයට යොමු කරන ලදී.