Header

Sri Lanka Army

Defender of the Nation

21st May 2021 07:30:46 Hours

සංචරණ සීමාවන් ලිහිල් කළද නිසි සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කරන්නැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි මහජනතාවට දැනුම් දෙයි

දිවයින පුරා ක්‍රියාත්මක වෙන සංචරණ සීමාවන් එළබෙන 7 වනදා දක්වා දීර්ඝ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) දින සන්ධ්‍යාවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය. ඒ අනුව දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමාවන් එලෙසම ක්‍රියාත්මක වන බැවින් මහජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එළබෙන අඟහරුවාදා (මැයි 25), සඳුදා (මැයි 31) සහ සිකුරාදා (ජූනි 04) යන දිනයන් තුළ වරින් වර සංචරණ සීමාවන් ලිහිල් කරන බවත් එම සංචරණ සීමාවන් 2021 ජූනි මස 7 වන දින දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබන බවත් මාධ්‍ය සාකච්ඡාවට එක්වූ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි වැඩිදුරටත් පැවසීය.

සංචරණ සීමාවන් ලිහිල් කරනු ලබන දින තුන තුළ (මැයි 25, 31 සහ ජුනි 4) මහජනතාවට ආහාර ද්‍රව්‍ය, එළවළු, මාළු / මස්, ඖෂධ වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ භාණ්ඩ මිල දී ගැනීම සඳහා පමණක් භාවිත කරන ලෙස දන්වා සිටින බවත්, එක් පවුලකින් එක් පුද්ගලයෙකුට පමණක් නිවසෙන් බැහැරව ගොස් අත්‍යවශ්‍ය දෑ මිලදී ගන්නා ලෙසත් එහිදි එතුමන් පැවසීය. මෙම සංචරණ සීමාවන් අවභාවිතා නොකර පවතින වසංගත තත්ත්වය පාලනය කරගැනීමට සියලුම පාර්ශවකරුවන්ට සහ සෞඛ්‍ය අංශ වෙත සහයෝගය දක්වන ලෙස ද එහිදි එතුමන් මජනතාව වෙත දන්වා සිටියේය. අද (24) දින උදෑසන අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ හමුවේදී ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් මෙම තීරණයන් ගත් බව යුද්ධ හමුදාධීපතිතුමන් ප්‍රකාශ කළේය.

ඒ අනුව, හෙට අඟහරුවාදා (25) දින අලුයම 4.00 ට සංචරණ සීමාවන් තාවකාලිකව ඉවත් කරනු ලබන අතර, එම කාලය තුළ සිල්ලර බඩු වෙළද සැල්, ෆාමසි, මාළු හා මස් වෙළඳ සැල් සහ බේකරි පමණක් විවෘතව තැබීමට අවසර ලබාදී ඇති අතර, එම සංචරණ සීමාවන් එදිනම රාත්‍රි 11.00 ට නැවත පනවනු ලැබේ. සංචරණ සීමාවන් ඉවත් කරන කාලසීමාව තුළ දිවයින පුරා සියලුම මත්පැන් අළෙවී සැල් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති අතර, අඟහරුවාදා (25) රාත්‍රී 11.00 සිට නැවත සංචරණ සීමාවන් ක්‍රියාත්මක වන අතර එය මැයි 31 වනදා අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක වේ. නැවත එදිනම (31) රාත්‍රි 11.00 සිට 2021 ජුනි මස 4 වන දින අලුයම 4.00 වන තෙක් එම සංචරණ සීමාවන් ක්‍රියාත්මක කරනු ලබයි. ජුනි මස 4 වන දින අලුයම 4.00 සිට ඉවත් කරනු ලබන සංචරණ සීමාවන් එදිනම (ජුනි 4) රාත්‍රි 11.00 සිට 2021 ජුනි මස 7 වන දින අලුයම 4.00 දක්වා ක්‍රියාත්මක කරනු ලැබේ.

පසුගිය දින කිහිපය තුළ සිට මේ දක්වා ක්‍රියාකළ ආකාරයටම පනවා ඇති සංචරණ සීමාවන්ට අනුකූලව කටයුතු කර මෙම වසංගත තත්ත්වය පාලනය කරගැනීමට සහය දක්වන ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් මහජනතාවගෙන් එහිදි ඉල්ලා සිටියේය. මෙම සාකච්ඡාව සඳහා මහාමාර්ග අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සහභාගී වූහ. සාකච්ඡාවට අදාළ සම්පූර්ණ වීඩියෝ දර්ශන පහතින් දැක්වේ: