Header

Sri Lanka Army

Defender of the Nation

24th May 2021 21:54:37 Hours

යුද්ධ හමුදධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව පල්ලේකැලේ යුද්ධ හමුදා රෝහලේ ඉදිකිරීම් අවසන් අදියරයට

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව පල්ලේකැලේ 11 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකරමින් පවතින යුද්ධ හමුදා රෝහල් සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නීරීක්‍ෂණය කිරීම සඳහා අද (23) දින යුද්ධ හමුදාධිපතිතුමන් එහි සංචාරයක නිරත වූයේය.

එම අවස්ථාවට සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ඉදිකිරිම් අවසන් අදියරයේ පවතින රෝහල් සංකීර්ණය වෙත එතුමන් කැටුව ගියේය. එම අවස්ථාව සඳහා ඉදිකිරිම් බාරව කටයුතු කරන යුද්ධ හමුදා නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ.

යුද්ධ හමුදාධිපතිතුමන් 11 වන සේනාංකයේ සංචාරයක නිරතවු අවස්ථාවක මෙම රෝහලේ ඉදිකිරීම් පිළිබඳ සැලසුම් කරන ලදී. වර්ථමාන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර එවකට 11 වන සේනාංකයේ සේනාංකාධිපති ලෙස රාජකාරි කර තිබේ.

රෝහල් සංකිර්ණයේ ඉදිකිරීම් කටයුතු සිදුකරමින් සිටි නිලධාරීන් සමග ඉදිකිරිම් සම්බන්ධයෙන් අදහස් විමසු යුද්ධ හමුදාධිපතිතුමන් රෝහලේ විවිධ අංශයන් කෙරෙහි අවධානය යොමුකරමින් විවිධ සැලසුම් සහ නව ඉදිකිරීම් පිළිබද අදහස් හුවමාරු කරගත්තේය.

ඇදන් 123 කින් සමන්විත ගොඩනැගිලි දෙකකින් සමන්විත නව රෝහල වාට්ටු හතරකින් සමන්විත වේ. මෙහි විශ්‍රාමික නිලධාරීන් / සෙසුනිලයින් සහ සේවයේ නියුතු නිලධාරීන්/සෙසුනිලයින් එමෙන්ම විශේෂඥ වෛද්‍ය සේවාව (Consultation Rooms), X-ray එකකයක් (X-ray unit), විද්යුත් ඛන්තුක රේඛන ඒකකයක් (ECG unit), රසායනාගාරයක්, අල්ට්රා සවුන්ඩ් ස්කෑනර් ඒකකයක් (Ultra Sound Scanner unit), ඖෂධාගාරයක් (Pharmacy), රෝග විස්තර කාඩ්පත් අංශයක් (Card Section), වාට්ටු ප්‍රධානි කාර්යාලයක්, අධි සත්කාර ඒකකයක් (HDU section), දන්ත ශල්‍යාගාරයක්, හෙඳියන් සඳහා විවේකාගාරයක්, මුළුතැන්ගෙයක්, කාන්තා අංශයක්, විශේෂ අමුත්තන් සඳහා කාමරයක්, විවේකාගාරයක්, නිලධාරීන් සඳහා වෙන් කරන ලද කාමර හතරක්, නවිනතම ඩිජිටල් සහ තොරතුරු තාක්‍ෂණ අංශයක් මෙන්ම නවීන උපකරණවලින් ද සමන්විත වේ. මෙහි තවත් ගොඩනැගිල්ලක ශල්‍යාගාරයක්, බාහිර රෝගී අංශයක්, හදිසි ප්‍රතිකාර ඒකකයක් (ETU) , සැරහුම් අංශයක් (Dressing Room), ලොන්ඩරියක් හා භෞතික චිකිත්සක අංශයක්, පරිපාලන සංකීර්ණයක්, වෛද්‍ය නිලධාරී නිවාස ඇතුළු වෙනත් රෝහලකට සමාන අංගයන්ගෙන් සමන්විත වේ.

මෙහි මුල් අදියරය වෛද්‍යවරුන් 10 දෙනෙකුගෙන් ආරම්භ කිරීමට නියමිත අතර, මෙමගින් මහනුවර ප්‍රදේශයේ විශ්‍රාමික හා සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසුනිලයින් ගේ සෞඛ්‍ය කටයුතු පහසුවෙන් සිදුකර ගැනීමට අවස්ථාව උදාවේ.