Header

Sri Lanka Army

Defender of the Nation

23rd May 2021 15:05:31 Hours

112 වන බලසේනාව විසින් ඇදන් 260 කින් යුත් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානක් ස්ථාපිත කරයි

මේවන විට දිවයින පුරා පැතිර යන කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ දිනෙන් දින ඉහළයමින් පවතින ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් විසින් බදුල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ගොඩනැගිල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කරන ලද අතර, එම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (23) දින ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ළමාහේවාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය බලධාරීන් වෙත ලබාදෙන ලදී.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ළමාහේවාගේ සහ 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ මඟපෙන්වීම යටතේ 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක ගේ අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් ඉතා කෙටි කාළයක් තුළ බදුල්ල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය භාරයේ ඇති ඇගලුම් කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපනය කරන ලදී.

කොවිඩ්-19 ආසාදිතයින් සඳහා ප්‍රතිකාර කිරීම සඳහා බදුල්ල දිස්ත්‍රික්කයේ දැනට පවත්වාගෙන යනු ලබන ඇදන් 200 කින් සමන්විත බිදුනුවැව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සහ ඇදන් 190 වකින් සමන්විත කහගොල්ල අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයට අමතරව ස්ථාපිත කළ මෙම නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇදන් 260 කින් සමන්විත වේ. මීට අමතරව රෝගීන් සඳහා වෛද්‍ය, සනීපාරක්‍ෂක සහ රූපවාහීනි නැරඹීමේ පහසුකම් වලින් ද සමන්විත වේ.

මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය අංශය වෙත භාරදීමේ අවස්ථාව සඳහා බදුල්ල පළාත් සභාවේ ප්‍රධාන ලේකම් පී.බී විජේරත්න, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය හේමන්ත සිල්වා, මහජන සෞඛ්‍ය පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමල් ගමගෙදර, ඌව පළාත් සභා මන්ත්‍රිවරුන්, බදුල්ල නගරසභා බලධාරීන්, බදුල්ල දිස්ත්‍රික් ලේකම් සහ එහි කාර්ය මණ්ඩලය, බදුල්ල ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු සහ කාර්ය මණ්ඩලය, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ සහ 112 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුර දිසානායක සහභාගී වූහ.