Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2021 15:22:40 Hours

යුද්ධ හමුදා භටපිරිස් නුවරඑළියේ ස්ථාපිත කල නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය බලධාරීන්ට භාරදෙයි

කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගීන් දිනෙන් දින ඉහළ යාමත් සමඟ ඔවුන්ට ප්‍රතිකාර සිදුකිරීමේ අරමුණින් නුවරඑළිය නගර ශාලා ගොඩනැගිල්ල 112 වන බලසේනාවේ සහ 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ස්ථාපිත කර සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදෙන ලදී.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ලමාහේවා ලබාදුන් උපදෙස් මත භටපිරිස්, නුවරඑළිය සෞඛ්‍ය නිලධාරින්ගේ සහ අනෙකුත් සේවයකයින්ගේ සහයෝගය ඇතිව දින හතරක් ඇතුලත ඇඳන් 500 කින් සමන්විත මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කරන ලදී. මේ සඳහා නුවරඑළිය දිස්ත්‍රික් කලාප සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂකගේ ද සහයෝගය හිමිවිය.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලබාදුන් උපදෙස් මත 11 වන සේනංකයේ සේනාංකාධිපති සහ 112 වන බලසේනාවේ බලසේනාධිපතිගේ සම්බන්ධිකරණයෙන් මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. මේ සඳහා අවශ්‍ය ඇඳන්, මෙට්ට, කොට්ට සහ අනෙකුත් අවශ්‍ය උපකරණ ආරක්‍ෂක සේනා මුලස්ථානය - මධ්‍යම වෙතින් ලබාදෙන ලදී.

මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ විදුලි කාර්මික කටයුතු 3 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් සිදුකරන ලදී.

නව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සෞඛ්‍ය බලධාරීන් වෙත භාරදීමේ අවස්ථාවට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ, කලාප සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධිකාරක හා ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් රංජන් ලමාහේවා, නුවරඑළිය නගරාධිපති, ප්‍රාදේශීය ඉංජිනේරු ආචාර්ය මදුර සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් කිහිපදෙනෙකු එක්ව සිටියහ.