Header

Sri Lanka Army

Defender of the Nation

27th May 2021 16:00:37 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ පූර්ණ දායකත්වයෙන් ඉදිකළ මෙරට විශාලතම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය කොවිඩ්-19 වෛරසය ආසාදිතයින්ට ප්‍රතිකාර කටයුතු සඳහා සුදානම්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ පූර්ණ දායකත්වයෙන් සීදූවේ ස්ථාපනය කරන ලද ඇඳන් 1200 කින් සමන්විත අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය අද (18) දින සන්ධ්‍යාවේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් නිරීක්‍ෂනය කරන ලදී.

බ්‍රැන්ඩික්ස් සමුහයේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ අෂ්ර්ෆ් ඕමාර් මහතාගේ අනුග්‍රාහකත්වය මත යුද්ධ හමුදා භටපිරිස් විසින් දින 10 කට අඩු කාලයකදී කොවිඩ්-19 වෛරසය ආසාදිත රෝගින් සඳහා ප්‍රතිකාර සිදුකිරීමට විශාල වාට්ටු තුනකින් සමන්විත මෙරට ඉදිකල විශාලතම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ස්ථාපනය කරන ලදී.

කොවිඩ් - 19 වෛරසයේ තෙවන රැල්ල රට තුළ ව්‍යාප්ත වෙමින් පවතින මෙවන් අවදියක ඕනෑම හදිසි අවශ්‍යතාවයකට මුහුණදිය හැකිවන පරිදි ස්ථාපිත කර ඇති මෙම රෝහල වෙතින් ආසාදිතයින් සඳහා සියලුම සෞඛ්‍ය පහසුකම් නොමිලේ සපයනු ලබයි. යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ පූර්ණ සහයෝග ඇතිව ස්ථාපනය කල මෙම නව රෝහල හදිසි ප්‍රතිකාර ඒකකයක්, හුදකලා කිරීමේ අංශ, පුනර්ජීවන අංශ, දැඩිසත්කාර ඒකක සහ ඖෂධ ශාලා ඇතුලු සියලුම සෞඛ්‍ය පහසුකම් වලින් සමන්විත වේ.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණියගේ පූර්ණ අධීක්‍ෂණයෙන් ස්ථාපනය කරන ලද මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා අවශ්‍යය උපකරණ සහ රෝගීන්ගේ අනෙකුත් සියලුම අවශ්‍යතාවයන් සම්පාදනය කිරීමේ සියලු කටයුතුද සුජීවා නෙල්සන් මැතිණියගේ සෘජු මැදිහත්වීම මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකක කාර්ය මණ්ඩලයේ පූර්ණ කැපකිරීම සහ දායකත්වය මත ලබා දෙන ලදී.

මෙම පරිශ්‍රය වෙත සැපමිණි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් මහත් හරසරින් යුතුව පිලිගත්තේය. ඉන්පසුව, අතිගරු ජනාධිපතිතුමන් ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරල් සංජිව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති හා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සමගින් රෝහල් පරිශ්‍රය නිරීක්‍ෂණය කරමින් වෛද්‍ය උපකරණ, සනීපාරක්‍ෂක පහසුකම් ඇතුළු සියලු පහසුකම් පිළිබඳ සොයාබැලීය. පසුව, එහි සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සමඟ ද අතිගරු ජනාධිපතිතුමන් සුහදව අදහස් හුවමාරු කරගත්හ.

අසාධ්‍ය තත්ත්වයේ සහ ආසාදනයේ බරපතල අවධියේ සිටින ප්‍රායෝගිකව නිවසේදී රැකබලා ගත නොහැකි කොවිඩ්-19 වෛරසය ආසාදනය වු රෝගීන්ට මෙම රෝහලේ පහසුකම් යටතේ ප්‍රතිකාර සිදුකල හැක. මෙම රෝහලේ ප්‍රතිකාර කටයුතු සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කාර්ය මණ්ඩලයක් විසින් සිදුකරනු ලබයි.

මෙම නිරීක්‍ෂණ චාරිකාවට එක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර, ප්‍රධාන සංඥා නිලධාරී මේජර් ජෙනරල් අශෝක පිරිස්, 14 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් බ්‍රිගේඩියර් ක්‍රිශාන්ත ප්‍රනාන්දු සහ 141 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ලාල් විජේතුංග විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

උද්ගත වී ඇති හදිසි තත්ත්වය මත යුද්ධ හමුදාව විසින් දිවයින පුරා කොවිඩ් - 19 වෛරසය ආසාධිත රෝගීන්ට ප්‍රතිකාර සිදුකිරීම සඳහා රෝහල් හෝ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමේදී ඒ සඳහා සුදුසු ස්ථානයන් සොයාබැලීම ආරක්‍ෂක සේවා බලධාරින් විසින් සිදුකරන ලදී. දිවයින පුරා ඇති රජයේ රෝහල්වල ධාරිතාව ඉක්මවූ අවස්ථාවක කොවිඩ් - 19 ආසාදිතයින් සඳහා මෙම මධ්‍යස්ථාන භාවිතා කිරීමට බලාපොරොත්තු වේ. ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ආසාදිතයින් සඳහා පහසුකම් සහ උසස් සෞඛ්‍ය සේවාවක් නොමිලේ ලබාදීම සඳහා සීදූවේ මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කර ඇත.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ පූර්ණ දායකත්වය ඇතිව ඉදිකළ සීදූව අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇඳන් 1200 කින් සමන්විතය.

මෙම මධ්‍යස්ථානය තුළ යුද්ධ හමුදාව විසින්ම සූදානම් කරන ලද වෙන්කරන ලද හුදකලා කිරීමේ කාමර සහ හදිසි අවස්ථාවකදී භාවිතා කළ හැකි ලෙස ඇඳන් 1200 ක් සූදානම් කර ඇත. මීට අමතරව දැඩි සත්කාර ඇඳන් සහිත දැඩි සත්කාර අංශයන්ද මෙම රෝහල තුළ පවතී.

බ්‍රැන්ඩික්ස් ආයතනයට අයත් සීදූවේ පිහිටි මෙම කර්මාන්ත ගොඩනැගිල්ල තුළ යුද්ධ හමුදාව විසින් නව රෝහලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. මීට අමතරව පූනානි හා රඹුක්කන ප්‍රදේශවල පිහිටි බ්‍රැන්ඩික්ස් ආයතනයේ තවත් ගොඩනැගිලි දෙකක් තුළ නිරෝධායන මධ්‍යස්ථාන පිහිටුවා ඇත. එම ආයතනය ‘LEED Platinum’ සහතිකය සමඟ ලොව ප්‍රථම ඇඟලුම් නිෂ්පාදනය කරන ආයතනය වන අතර මෙම පහසුකම් ලෝකයේ ප්‍රථම වතාවට ආරම්භ කරන ලද්දකි.

මෙම අවස්ථාවට ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි චිත්‍රානි ගුණරත්න මැතිණිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජිවා නෙල්සන් මැතිණිය, බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන විධායක අධ්‍යක්‍ෂ අෂ්ර්ෆ් ඕමාර්, බ්‍රැන්ඩික්ස් සමුහයේ ප්‍රධාන පරිපාලන නිලධාරී මේජර් ජෙනරල් උදය පෙරේරා (විශ්‍රාමික) ඇතුළු බ්‍රැන්ඩික්ස් ආයතනයේ කාර්යමණ්ඩලයේ සාමාජිකයින් සහ තවත් ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි වූහ.