Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2021 19:22:40 Hours

පලාලි යුද්ධ හමුදා රෝහලේ නව දෙමහල් ගොඩනැගිලලක් ඉදිකිරීම අරඹයි

විජයග්‍රාහණයේ 12 වැනි සැමරුමට සහ රණවිරු දිනයට සමගාමීව පලාලි යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයේ නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. නව ගොඩනැගිල්ලට මුල්ගල තැබීමේ උත්සවය ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් සඳුදා (17) දින පැවැත්විණි.

මෙම අවස්ථාවට පැමිණි මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුද කිරීමෙන් අනතුරුව පලාලි යුද්ධ හමුදා රෝහලේ අණදෙන නිලධාරී මේජර් ලහිරු රත්නවීර විසින් උණුසුම් අයුරින් පිළිගත්තේය.

ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සෙත් පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ නව දෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා සුබමොහොතින් මුල්ගල තැබීය. මෙම අවස්ථාවට ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු ආඥාපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්කද ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.

යුද්ධ හමුදා ඉංජිනේරු රෙජිමේන්තුවේ සහ 5 වන ඉංජිනේරු සේවා බලකායේ භටපිරිස්ගේ ශ්‍රමදායකත්වයෙන් අඩි 180 X 50 කින් යුත් නව දෙමහල් ගොඩනැගිල්ල මස කිහිපයක් තුළ ඉදිකර අවසන් කිරීමට නියමිතව ඇත.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ සඳුන් පැළයක් රෝපණය කල මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා සමුහ ඡායාරූපයකට ද පෙනීසිටියහ. ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා යුද්ධ හමුදා රෝහල් පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබීය.

දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවැති මෙම වැඩසටහනට ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි ඇතුළු මාණ්ඩලික නිලධාරීන්, ඒ යටතේ ස්ථාපිත ඒකකවල අණදෙන නිලධාරීන් සහ යුද්ධ හමුදා රෝහලේ කාර්යමණ්ඩලය සහභාගි වූහ.