Header

Sri Lanka Army

Defender of the Nation

19th May 2021 20:15:42 Hours

රට තුළ පවතින වත්මන් තත්ත්වය සහ කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් නිවෙස් තුල නිරෝධායනය කිරීම පිළිබඳ සාකච්ඡා කරයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, සෞඛ්‍ය බලධාරීන් සහ වෛද්‍ය විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් රාජගිරියේ පිහිටි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ බදාදා (19) දින උදෑසන සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී, නිවෙස් තුල නිරෝධායන ක්‍රියාවලිය, නිරෝධායන මධ්‍යස්ථාන, හදිසි අවස්ථාවන්වලදි සංචරණ සීමාවන් පැණවීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙම සාකච්ඡාව සඳහා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරල් සංජීව මුණසිංහ සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සහභාගි වූහ. තවද, මෙම සාකච්ඡාවට වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් කිහිපදෙනෙකු ද සහභාගි වූහ.

කොවිඩ්-19 වෛරසය ආසදිත පුද්ගලයින් වැඩි වශයෙන් හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශ පලමු, දෙවන හා තෙවන මට්ටම් ලෙස වර්ගීකරණය කර නිරෝධායන ක්‍රියාවලියට යොමු කිරීම, සංචරණ සීමා පැණවීම සහ අනෙකුත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනිමට අවශ්‍ය වනු ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි මෙහිදි පැවසීය.

වයස අවුරුදු 12 ට අඩු හා 50 ට වැඩි වයස් කාණ්ඩයේ කොවිඩ්-19 වෛරසය ආසාදිතයින් සහ ගර්භනී කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳව ද මෙහිදි අදහස් පළ විය. කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් නිවාස තුළ නිරෝධායනය හා නිවෙස් කෙතරම් දුරට නිරෝධායන කටයුතු සඳහා සුදුසුද යන්න පිළිබඳව මෙහිදි අදහස් විමසීය.

පීසීආර් පරීක්‍ෂණ සිදුකිරීම, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රෝහල්වල පීසීආර් පරීක්‍ෂණ පැවැත්වීම සහ එන්නත් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහිදි විස්තර කළේය. මෙම සාකච්ඡාවට එක්වූ වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයින් මේ සඳහා අදහස් හා යෝජනා ඉදිරිපත් කළහ.