Header

Sri Lanka Army

Defender of the Nation

15th May 2021 19:57:13 Hours

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට යුද්ධ හමුදාව සහන සලසයි

බෙන්තර ගඟේ අතු ශඛාවක් පිටාර ගැලීම නිසා ඇති වූ ගංවතුර තත්ත්වයක් හේතුවෙන් ආපදාවට ලක්වූ පිරිසක් වෙත සහන සැලසීමට 61 වන සේනාංකයට අයත් 12 වැනි කාරක ඉංජිනේරු රෙජිමේන්තු භටපිරිස් කටයුතු කළහ. ගංවතුර තත්ත්වය නිසා පිටිගල වලල්ලාවිට මාර්ගයේ ප්‍රවාහනයට බාධා ඇති විය.

සිය අත්‍යවශ්‍ය කටයුතු සිදුකර ගැනීම සඳහා  ඊයේ (14) පස්වරුවේ පිටිගල නගරයට පැමිණි සිටි වලල්ලාවිට උතුර ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසකට යළි සිය ගම්බිම් බලා යාම සඳහා යුද්ධ හමුදා භටපිරිස් මෙලෙස පහසුකම් සැපයූහ. සිද්ධිය සැළ වූ විගස 61වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.ජී. හේවගේ ලබාදුන් උපදෙස් අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භටපිරිස් කඹ ආ‍ධාරයෙන් අදාළ පිරිස සිය ගම්බිම් වෙත ආරක්‍ෂිතව රැගෙන යාමට කටයුතු කළහ.

එසේම අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර තත්ත්වයනිසාවෙන් ආපදාවට ලක්ව සිටි අකුරැස්ස, කඹුරුපිටිය, අතුරලිය සහ මාලිම්බඩ ප්‍රදේශයන්හි පිරිස් වෙත සහන සැලසීමට 613 බලසේනාව යටතේ ඇති 3 වන(ස්වේච්ඡා) ගැමුණු හේවා බළඇණියේ මුදවා ගැනීමේ හා සහන සැලසීමේ කණ්ඩය කටයුතු කළහ.

එසේම ධාරානිපාත වර්ෂාව නිසාවෙන් ඇල්පිටිය, නෙළුව, බද්දේගම, තවලම, යක්කලමුල්ල, නාගොඩ සහ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ඇති වූ ගංවතුර තත්ත්වයක් සහ නෙළුව වාරුකන්ද ප්‍රදේශයේ ඇති වූ නායයාම් නිසා ආපදාවට ලක් වූ පිරිස් වෙත සහන සැලසීමට 613 බලසේනාවට අයත් 14 වැනි (ස්වේච්ඡා) ගැමුණු හේවා බලඇණියේ භටපිරිස් කටයුතු කළහ.

එමෙන්ම මේවන විට දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය නිසාවෙන් ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව නිසා අත්තනගලු ඔය පිටාර ගලා ඇති වූ ගංවතුර තත්ත්වයෙන් අත්තනගල්ල, වඳුරමුල්ල සහ නාගොඩ ග්‍රාමසේවා වසම්වල විපතට පත් පවුල් කිහිපයක පුද්ගලයින් පිරිසක් ඉන් මුදවා ගැනීමට 141 බලසේනාව යටතේ ඇති 6වන ශ්‍රි ලංකා කාලතුවක්කු රෙජිමේන්තු භටපිරිස් කටයුතු කළහ.

මේ අතර, ගංවතුරෙන් පීඩාවට පත් ගම්පහ නගරය සහ ඒ අවට ප්‍රදේශවල සිවිල් වැසියන්ට සහන සැලසීම සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් අද (15) දින සිය දායකත්වය දැක්වූහ.

දින කිහිපයක් පුරා ඇදහැළෙන ධාරාණීපාත වර්ෂාපතනය හේතුවෙන් අත්තනගලු ඔය සහ අනෙකුත් ජල මාර්ගවල ජල මට්ටම ඉහළ ගොස් ප්‍රදේශයේ නිවාස සහ ව්‍යාපාරික ස්ථාන රැසක් ජලයෙන් යටවිය.

141 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ භටපිරිස් බෝට්ටු යොදාගනිමින් නිවාස ජලයෙන් යටවීම නිසා පිඩාවට පත්වූ ළමුන් හා වැඩිහිටියන් ඇතුළු පුදගලයින් 100 කට අධීක පිරිසක් මුදාගෙන තාවකාලික සහන මධ්‍යස්ථාන වෙත යොමු කළහ.