12th May 2021 18:09:17 Hours
අද (12) දින සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් සහ දිස්ත්‍රික්ක හරහා ගමන් කිරීම තහනම් කළ බවත් අද (12) දින රාත්‍රී 11.00 සිට හෙට අලුයම 0400 දක්වාත් බ්‍රහස්පතින්දා (13) දින රාත්‍රි 1100 සිට එළඹෙන සඳුදා (17) දින අලුයම 0400 දක්වාත් බලපැවැත්වෙන පරිදි සංචාරණ සීමා පැනවු බවත් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා බදාදා (12) දින සන්ධ්‍යාවේ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකාය සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී පැවසීය. එසේම, සෞඛ්‍ය, ආරක්‍ෂක, ජල, විදුලි ආදී ක්ෂේත්‍රයන්හි සේවය කරන පුද්ගලයින්, ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යන පුද්ගලයින් සහ අත්‍යවශ්‍ය ආහාර ප්‍රවාහනය කරන ලොරි රථ ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි නියැලී සිටින මහජනතාවට සංචරණය සඳහා අවසර ලබාදී ඇති බවත් අනවශ්‍ය සියලු කටයුතු සඳහා අවසර ලබා නොදෙන බවත් යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් පැවසීය.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට විශේෂඥ වෛද්‍යවරුන්, සෞඛ්‍ය නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් කිහිපදෙනෙකු සහභාගි වූහ.
කොවිඩ්-19 වෛරසය ආසාදිත පුද්ගලයින් වැඩි වශයෙන් හඳුනාගැනීමත් සමඟ බස්නාහිර පළාතේ එන්නත් කිරීමේ ක්‍රියාවලිය සැලසුම් සහගතව අඛණ්ඩව සිදුකරන බව යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය. “මෙම හදිසි අවස්ථාව සැලකිල්ලට ගනිමින් අතිගරු ජනාධිපතිතුමා, විශේෂඥයින්, වෛද්‍ය නිලධාරීන් සහ අනෙකුත් සෞඛ්‍ය බලධාරීන් සමඟ කොවිඩ්-19 වෛරසයේ වත්මන් තත්ත්වය පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කර එම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් ලබාගත්තේය. රට සම්පුර්ණයෙන්ම හුදකලා නොකර පළාත් අතර ගමනා ගමනය තහනම් කිරීමට ප්‍රථමයෙන් පියවර ගත්තේය. එහෙත් පවතින තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක අතර ද ගමනා ගමනය අවම කිරීමට සංචරණ සීමාවන් පැනවීමට තීරණය කළ බව” යුද්ධ හමුදාධිපතිතුමන් වැඩිදුරටත් මෙහිදි පැවසීය.
“මේ වනවිට අපි පොලිස් කොට්ඨාස 5 ක ග්‍රාමසේවා වසම් 185 ක් හුදකලා කර ඇති අතර ඉදිරියට ද මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අපි අඛණ්ඩව මෙම උපාය මාර්ගය අනුගමනය කරන්නෙමු. ප්‍රතිකාර පහසුකම් වැඩිදියුණු කරමින් ඇදන් ධාරිතාව 13,000 කින් වැඩිකර ඇත. හඳුනාගන්නා ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීම සඳහා අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පහසුවෙන් සම්බන්ධ කරගැනීම සඳහා දුරකථන ජාලයක් ස්ථාපිත කර ඇති අතර, නිවසේ සිට අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා ගමන් කිරීමට වෛද්‍ය නිලධාරීන් සහ සහායකයින් සමගින් ගිලන්රථ ලබාගත හැකිය.” යනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් තවදුරටත් මෙහිදි පැවසීය.
මෙවැනි හදිසි අවස්ථාවක අපගේ හමුදා කඳවුරුවලට අවශ්‍ය පහසුකම් සපයා නොමැති බව මතක තබාගත යුතු අතර කිසිදු රෝගීයෙකුට ඇඳක් නොමැතිව බිම වැතිරීමට අපගේ හමුදාව ඉඩ නොදෙන බවද යුද්ධ හමුදාධිපතිතුමන් අවධාරණය කළේය. “ඕනෑම හදිසි අවස්ථාවකදී, රටේ සහ අපේ ජාතියේ අභිවෘද්ධිය උදෙසා ඕනෑම ආකාරයක කැපකිරීමක් කිරීමට අපි සූදානම්” යැයි යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රකාශ කළේය.
වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ අනෙකුත් පාර්ශවකරුවන් ද මෙහිදි අදහස් දැක්වූහ.