06th May 2021 16:07:37 Hours
කොරෝනා වෛරසයේ තෙවන රැල්ල ප්‍රබල ලෙස පැතිරයාම නිසාවෙන් නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය පසුගිය අඟහරුවාදා (04) දින අම්පාර ප්‍රදේශයේ පිහිටි 24 වන සේනාංක මූලස්ථානයේ සහ නොරොච්චෝලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථාන වෙත ගොස් ප්‍රදේශයේ වත්මන් තත්වය පිළිබඳ අවබෝධයක් ලබාගත්තේය. ඊට අමතරව, හදිසි අවස්ථාවකදී ආශ්‍රිතයින් වැඩි ප්‍රමාණයක් නිරෝධායනය කිරීමේ පහසුකම් සැපයීමට ඇති හැකියාව පිළිබඳව ද එතුමන් සොයාබැලුවේය.
එහිදී, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් එම සේනාංකයේ නිලධාරින් සමඟ සාකච්ඡාවක් පවත්වා කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ උපදෙස් ලබාදුන් අතර මෙම වසංගතය ජාතික ව්‍යවසනයක් ලෙස සලකා එය මැඩපැවැත්වීම ජාතික වගකීමක් බව පැහැදිලි කළේය.
ඉන් අනතුරුව, නොරොච්චෝලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගිය මේජර් ජෙනරල් චන්න වීරසූරිය සහ 24 වන සේනාංකයේ සේනාංකාධිපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරින් එම නිරෝධායන මධ්‍යස්ථානයේ සේවයේ නියුතු පිරිස් වෙත අවශ්‍ය උපදෙස් ලබාදුන්නේය. එමෙන්ම, එම නිරෝධායන මධ්‍යස්ථානය අනාගතයේදී අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පරිවර්ථනය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් එහි තිබේදැයි පරික්‍ෂා කළේය.
ඉන් පසුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් අම්පාර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය එස්.පී.ඒ. පී සේරසිංහ සහ ආර්.ඩී.එච්.එස්. කල්මුනේ හා වෛද්‍ය ජී. සකුනාන් සමඟ නිරෝධායන කටයුතුවල නිසි ක්‍රියාකාරිත්වය සහ ප්‍රදේශය තුළ වෛරසය පැතිරීම අවම කරගැනීමේ හැකියාව පිළිබඳව ද සාකච්ඡා කරන ලදී.