05th May 2021 07:10:17 Hours
රණවිරු සැමරුම් මාසය ප්‍රකාශයට පත්කරමින් ජාතික රණවිරු කොඩිය ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා වෙත පැළඳවීම අඟහරුවාදා (04) දින ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.
රණවිරු සේවා අධිකාරියේ වැඩබලන සභාපතිනී සෝනියා කෝට්ටේගොඩ මහත්මිය විසින් රණවිරු කොඩිය ජනාධිපතිතුමා වෙත පළඳවනු ලැබීය. මෙම අවස්ථාව සඳහා ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික) ද සහභාගී වූයේය.
2009 වසරේ මැයි මාසයට පෙර දශක තුනක් පැවති යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් දිවි පිදූ වීරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් මැයි මාසය ‘රණවිරු සැමරුම් මාසය’ නමින් ප්‍රකාශයට පත් කර ඇත. කුරිරු ත්‍රස්තවාදයට එරෙහි සටනේදී ත්‍රිවිධ හමුදා රණවිරුවන් විශාල සංඛ්‍යාවක් සිය ජීවිත රට වෙනුවෙන් පූජා කළ අතර ඒ හා සමාන රණවිරුවන් සංඛ්‍යාවක් ආබාධ වලට ලක්වූහ. සෑම වසරකම මැයි මස මුල් සතියේ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපතිතුමන් විසින් ජාතික රණවිරු කොඩිය පැළඳවීමත් සමඟ යුද විරුවන්ගේ මාසය ආරම්භ වේ.