28th April 2021 21:30:02 Hours
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම - 2020 - 2025’ ට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන යුද්ධ හමුදාවට තරුණයින් බඳවාගැනීමේ වැඩසටහනේ තවත් එක් සන්ධීස්ථානයක් සනිටුහන් කරමින් පසුගිය අඟහරුවාදා (27) දින සිංහල, දෙමළ සහ මුස්ලිම් තරුණ තරුණියන් 359 දෙනෙකුගෙන් සමන්විත ආධුනික පුහුණු පාඨමාලාවක් යාපනයේ විඩත්තපලේ බලඇණි පුහුණු පාසලේදී ආරම්භ කරන ලදී. මෙමඟින් හමුදා සාමාජිකයින් අතර මෙන්ම යාපනයේ ජීවත් වන ජනතාව අතර සංහිඳියාව, ජනවාර්ගික සමගිය, සහජීවනය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීම අරමුණ වේ.
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ මඟපෙන්වීමත්, 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් දීපාල් පුස්ඇල්ල සහ යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ අධීක්‍ෂණය යටතේ මෙම ආධුනික පුහුණු පාඨමාලාව 2021 අගෝස්තු මස 27 දින දක්වා පැවැත්වේ.
මෙම සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් දීපාල් පුස්ඇල්ල විසින් ආරම්භක දේශනය සිදුකළ අතර එහිදී, එතුමන් සිවිල් ජීවිතයේ සිට හමුදා ජීවිතයට හැඩගැසීමේ ක්‍රියාවලිය, සිය පුහුණු කාලය තුළ තමන් සතු වගකීම්, විනය, හැසිරීම සහ කැපවීම වැනි යුද්ධ හමුදා පුහුණුවේ මූලික කරුණු පිළිබඳ ආධුනික සෙබලුන් දැනුවත් කළේය.
මෙම ආධුනික පුහුණු පාඨමාලාව ආරම්භ කරනු ලැබූවේ දෙමළ හා සිංහල කතා කරනු ලබන තරුණ තරුණියන් බඳවාගෙන ඔවුන් වෘත්තීය සොල්දාදුවන් බවට පත් කිරීම සහ අනාගත අභියෝගයන්ට මුහුණ දීමට ශාරීරික, මානසික හා සදාචාරාත්මක සුදුසුකම් ඇති කිරීමයි.
මෙම අවස්ථාවට 522 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ජනක විජේසිරී, යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු මාණ්ඩලික නිලධාරින්, අණදෙන නිලධාරින් සහ විඩත්තපලේ බලඇණි පුහුණු පාසලේ උපදේශකවරුන් ද සහභාගී වූහ.