Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2021 22:12:38 Hours

කොවිඩ් - 19 එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම අරඹයි

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතුවල පූර්වගාමී මෙහෙවරක නියැලෙන යුද්ධ හමුදා සාමාජිකයින්ට මීට පෙර ‘AstraZeneca Covishield’ එන්නතේ පළමු මාත්‍රාව එන්නත් කිරීම රජය විසින් සිදුකරනු ලැබූ අතර එහි දෙවන මාත්‍රාව එන්නත් කිරීමේ වැඩසටහන අද (28) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේදී ආරම්භ කරන ලදී.

කොවිඩ් - 19 අවදානමට ලක් වූ පුද්ගලයින් නිරෝධායනය කිරීම සහ කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින්ට ප්‍රතිකාර කිරීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් වෙත මෙම එන්නත තුලින් වෛරසය සම්ප්‍රේෂණය වීම වළක්වනු ඇත. ඒ අනුව දිවයින පුරා පිහිටි යුද්ධ හමුදා රෝහල් 15 ක් තුලදී යුද්ධ හමුදා සාමාජිකයින් වෙත එහි දෙවන මාත්‍රාව එන්නත් කිරීම සිදුකරනු ලබයි. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මුලපිරීමකට අනුව කොවිඩ් - 19 වැළැක්වීමේ කටයුතු වල පූර්වගාමී මෙහෙවරක නියැලෙන යුද්ධ හමුදා සෞඛ්‍ය සේවකයින්ට මෙම එන්නත ලබාදීම මේ වසරේ ජනවාරි මස ආරම්භ කරන ලදී.

ඒ අනුව, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත අද (28) දින සිට දිවයින පුරා පිහිටි සියලුම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන, නිරෝධායන මධ්‍යස්ථාන සහ යුද්ධ හමුදා රෝහල්වල සේවය කරනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය කණ්ඩායම් වෙත ප්‍රමුඛත්වය මත එන්නත් කිරීම සිදුකරනු ලබයි.