Header

Sri Lanka Army

Defender of the Nation

28th April 2021 15:42:41 Hours

එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකිකයින් යුද්ධ හමුදාවට ආරක්‍ෂිත ඇඳුම් කට්ටල පරිත්‍යාග කරති

බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ කටයුතු, හදිසි අවස්ථා සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු වල නිරතව සිටින යුද්ධ හමුදා සාමාජිකයින්ගේ භාවිතය සඳහා හොඳින් වැඩිදුරකට දර්ශනය වන ආරක්‍ෂිත ඇඳුම් කට්ටල 500 ක් සහ ආරක්‍ෂක අත්වැසුම් යුගල් 500 ක තොගයක් අද (28) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත භාරදෙන ලදී.

මීට ප්‍රථම එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ධූරයේ රාජකාරි සිදුකර ඇති මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට මීට සති කිහිපයකට පෙර බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක ධූරයේ රාජකාරි කටයුතු භාරගත්තේය. එතුමන්ගේ සම්බන්ධීකරණය මත විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් පිරිසක් සහ එක්සත් රාජධානියේ පිහිටුවා ඇති ශ්‍රී ලාංකික සංවිධාන කිහිපයක් ඒකාබද්ධව මෙම ඇඳුම් හා අත් ආවරණ තොගය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පරිත්‍යාග කර ඇත. මෙම තොගය ප්‍රාදේශීය මට්ටමින් අවශ්‍යතා පිළිබඳ විමසීමක් සිදුකිරීමෙන් අනතුරුව සේනාංක සහ බලසේනා අතර බෙදාහැරීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව පැවති කෙටි සාකච්ඡාවේදී, ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ නිලධාරින්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට අවශ්‍ය පියවර ගෙන ‘ඉදිරි උපායමාර්ගික සැලැස්ම 2020 - 2025’ සාර්ථක කරගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදී නිලධාරින්ගේ වෘත්තීය ප්‍රගතිය වැඩිදියුණු කිරීමට කටයුතු කරන ලෙස මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට වෙත උපදෙස් ලබාදුන්නේය.

ජාතියේ තීරණාත්මක අවදියකට මුහුණ දෙන මෙම අවස්ථාවේදී මෙම පරිත්‍යාග සිදුකිරීම පිළිබඳව ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පරිත්‍යාගශීලීන් වෙත සිය ස්තූතිය පුදකළේය.

මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට 2018 ඔක්තෝබර් මස සිට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස සේවය කළ අතර 2020 දෙසැම්බර් මස සිය ධුර කාලය අවසන් වීමෙන් පසු නැවත දිවයිනට පැමිණියේය.