Header

Sri Lanka Army

Defender of the Nation

03rd April 2021 12:01:05 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව සිය 140 වන සංවත්සරය සමරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 140 වන සංවත්සර දිනය අප්‍රේල් මස 01 වන දිනට යෙදී තිබිණි. ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ලබාදුන් උපදෙස් මත සිය 140 වන සංවත්සරය ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් හමුදා සම්ප්‍රදායානුකූලව අභිමානවත් අයුරින් සමරන ලදී. තවද, සංවත්සරයට සමගාමීව සිවිල්-හමුදා සුභසාධන ව්‍යාපෘතින් කිහිපයක් ද පැවැත්විණි.

සංවත්සරයට ආශිර්වාද එක්කරමින් පසුගිය අඟහරුවාදා (30) දින සන්ධ්‍යාවේ සර්ව රාත්‍රික ‘පිරිත්’ සඡ්ඣායනාවක් පැවැත්විණි. ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ විසින් ධාතූන් වහන්සේ වැඩමකර තැන්පත් කිරීමෙන් අනතුරුව මහා සංඝරත්නය සිදුකළ අනුශාසනාවේදී මෙම අවස්ථාවේ වැදගත්කම අවධාරණය කළේය.

පසුදින (31) උදෑසන මහා සංඝරත්නය විශයෙහිලා හීල් දානය පිළිගැන්වූහ. එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මුලස්ථානය විසින් හංවැල්ල සැඳෑසෙවන වැඩිහිටි නිවාසය සහ කොස්ගම සර්වෝදය ළමා නිවාස පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් දියත් කරන ලදී. සංවත්සරයට සමගාමීව පැවැති මෙම වැඩසටහනේදී, වැඩිහිටි නිවාසයේ සහ ළමා නිවාසයේ නේවාසිකයින්ට දිවා ආහාරය සහ ත්‍යාග පර්සල් බෙදාදුන්හ.

සංවත්සර දිනයේ (අප්‍රේල් මස 1 දින), එම මුලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ වෙත කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ භටපිරිස් පිරිනැමුහ.

පසුව, එතුමන් රට වෙනුවෙන් දිවිපිදු ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කළේය. ඉන් අනතුරුව, ස්වේච්ඡා බලසේනාවේ භටපිරිස් ඇමතූ එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවය සහ ප්‍රතිරූපය ආරක්‍ෂා කරමින් රාජකාරි සිදුකරන ලෙස සියලුදෙනාගෙන් ඉල්ලා සිටියහ. සංවත්සර වැඩසටහන අවසානයේ පැවැති සියලුනිල දිවා භෝජන සංග්‍රහයකට ද එතුමන් එක්විය.

ලුතිනන් කර්නල් ‘ජෝන් ස්කොට් ආම්ටේජ්’ ගේ අණදීම යටතේ වර්ෂ 1881 අප්‍රේල් 01 දින ආරම්භ කල ස්වෙච්ඡා හමුදාව 1899-1902 බෝර් යුද්ධය, පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධයේදී රටේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීභාවය ප්‍රශංසනීය ලෙස ආරක්‍ෂා කිරීම වෙනුවෙන් කැපවූහ.

කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ලබාදී ඇති දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් පැවති මෙම සංවත්සර වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල් සම්බන්ධීකරණ නිලධාරීන් ඇතුළු ස්වේච්ඡා බලසේනාවේ නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගි වූහ. Best Sneakers | Jordan Release Dates , Iicf