13th March 2021 16:13:43 Hours
නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ මේ දිනවල සංචාරයක නිරතවන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (13) දින උදෑසන එම ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංක මුලස්ථානයේ සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අනපේක්‍ෂිත ලෙස ආසන 26 කින් සමන්විත බස්රථයකට ගොඩනංවාගෙන කඳවුරෙන් පිටත්විය.
ඔවුන් සියලුදෙනා පුදුමයට පත් කරමින් විනාඩි 45 කට පමණ පසුව බස්රථය යුද්ධ හමුදාව විසින් පාලනය කරනු ලබන පාසිකුඩා පිහිටි ‘ලයා වෙව්ස්’ හෝටල් පරිශ්‍රය වෙත ලඟාවිය. හෝටල් පරිශ්‍රය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් පිරිස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චන්න වීරසුරිය විසින් මහත් හරසරින් යුතුව පිළිගනු ලැබීය.
ඉන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සමඟ අතට අතදී සුහද පිළිසඳරක නිරතවූ යුද්ධ හමුදාධිපතිතුමන්, උදෑසන භෝජන සංග්‍රහය අතරතුර ඔවුන් සමඟ සුහදව අදහස් හුවමාරු කරගනිමින් රාජකාරී කටයුතු පිළිබඳ විමසීය. පසුව, ඔවුන්ගේ අභියෝගාත්මක කාර්යභාර්ය පැසසුමට ලක් කළ යුද්ධ හමුදාධිපතිතුමන් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රයෝජනය සඳහා කැපවීමෙන් යුතුව කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළේය.
අවසානයේ යුද්ධ හමුදාධිපතිතුමන් මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 25 දෙනා සමඟින් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ. පසුව, ලයා වෙව්ස්’ හෝටලයේ කළමනාකාරීත්වය සහ කාර්යමණ්ඩලයේ ආරාධනයකට අනුව යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක් ද තැබූවේය.
ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පසුගිය සිකුරාදා (12) දින වැලිකන්දේ පිහිටි නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී බලප්‍රදේශයේ සේවයේ නියුතු සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇමතීය. Mysneakers | Sneakers